කුසගින්නේ මියගිය පිරිස



ජේසු දැකගන්න නිරාහාරව සිට මියගිය පිරිසක් ගැන හද කම්පා කරවන පුවතක් පසුගිය දිනවල කෙන්යාවෙන් අසන්න ලැබුණි. කෙන්යාව අප්‍රිකාවට අයත්, ක්‍රිස්තියානි රාජ්‍යයකි. එසේ වුවත් අන්ධ භක්තිකයන්ගෙන් සමන්විත කුඩා ආගමික කල්ලි එරට බහුලව දකින්න ලැබේ. එවැනි ආගමික කල්ලි නීතියේ රැහැනට හසුවන අවස්ථා පවා සුලබය. එසේ වුවත් පසුගිය දා කෙන්යාවෙන් අසන්න ලැබුණේ හද කම්පා කරවන පුවතකි.

මළසිරුරු හමුවීමට පටන් ගත්තේ කෙන්යාවේ මිලින්දි නමැති වෙරළාශ්‍රිත නගරයේ, ෂකහෝලා නමැති වනාන්තර ප්‍රදේශයෙනි. සිරුරු හෙක්ටයාර් 325 ක් පුරා පැතිරුණු වනාන්තර ප්‍රදේශයේ වළ දමා තිබුණි. හමුවුණු මළ සිරුරු ගණන 90 කට වැඩිය. ඒ අතරින් වැඩි දෙනා කුඩා දරුවන් යැයි පැවැසෙයි.

මුළු වනාන්තර ප්‍රදේශයම සීල් තැබීමට පොලිසිය කටයුතු කළ අතර තව තවත් සිරුරු හමුවීමට පටන් ගත් හෙයින් මළ සිරුරු සෙවීම පවා පොලිසිය නතර කළේය. ඒ, නගරයේ මෘතශරීරාගාර පිරී යන්න වූ බැවිනි.

ජේසු දකින්න නිරාහාරව සිටින්නැයි කී ආගමික කල්ලි නායක පෝල් මැකෙන්සි න්තෙන්ගේ නමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය මෙම අපරාධය හඳුන්වන්නේ ‘ෂකහෝලා වනයේ සමූල ඝාතනය’ යනුවෙනි.

 

“මළසිරුරු කීයක් තව තියෙනවාදැයි අප දන්නේ නැහැ. ඒත් අප ඒවා සොයනවා. තව සිරුරු හමුවේවි” යැයි කෙන්යානු ස්වදේශ කටයුතු අමාත්‍ය කිතුරේ කින්ඩිකි මාධ්‍ය හමුවේ පවසා තිබේ. මේ වන විට ‘ෂකහෝලා වනයේ සමූල ඝාතනය’ ලොව ප්‍රධාන පුවතක් බවට පත් වී හමාරය.

කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ද මෙම ඝාතන සම්බන්ධයෙන් කම්පා වෙමින් කියා සිටියේ තවත් මෙවැනි ආගමික කල්ලි ඇත්නම් සොයා ඒවායේ අගමික නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවය.

ෂකහෝලා වනාන්තරයෙන් මළසිරුරු ගොඩ ගැනීමේ කටයුතු සඳහා රතු කුරුස සංවිධානයේ ද සහාය කෙන්යා රජයට හිමිවී තිබේ. රතු කුරුස සංවිධානය පවසා ඇත්තේ මිලින්දි නගරයේ එම ආගමික කල්ලිය හා සම්බන්ධ වී සිටි කාන්තාවන්, කුඩා දරුවන් ද ඇතුළු තවත් 212 දෙනකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇතැයි රතු කුරුස සංවිධානය පවසා තිබේ. අතුරුදන් ඔවුන්ගේ සිරුරු වනාන්තරයේ ඇතැයි සැක කෙරේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS