කොළඹ - මොස්කව් සෘජු ගුවන් ගමන්



කොළඹ හා මොස්කව් අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට  ශ්‍රී ලංකා ගුවන් සමාගම සූදානම් වන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් පසු සතියකට එක් ගුවන් ගමනක් සිදු කෙරෙන බව රුසියාවේ  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු ෂර්මල් පෙරේරා මහතා සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන්, දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා බොහෝ විදේශ සංචාරකයින් මෙරටට ඒමට පසුබට වෙද්දී ,  රුසියාව සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යවල සංචාරකයින් කොවිඩ්-19 ව්‍යාප්තිය අතරතුර දී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා උනන්දුවක් දැක්වූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එබැවින්, ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම් කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යවල කලාපයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කාලෝචිත තීරණයක් වනු ඇතැයි එම තානාපති කාර්යාලය කියා සිටී.

කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම නිමිත්තෙන් , රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව තානාපති කාර්යාල පරිශ්‍රයේ දී මොස්කව්හි සංචාරක උත්සවයක් පැවැත්වූ අතර මෙම උත්සවයට මොස්කව්හි සංචාරක සමාගම්වල නියෝජිතයින් පැමිණියහ.

රුසියානු සංචාරකයින් සඳහා ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම සහ , රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් පැවැත්වීමේ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා  මෙහිදී එරට සංචාරක නියෝජිතයින්ට පෙන්වා දුන්නේය.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS