ට්‍රම්ප්ට තව දුරටත් ෆේස්බුක් තහනම්



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම වසර 2 කට තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කළේය.

ෆේස්බුක් ජාලයට අයත්, අයත් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයේ ඔහුගේ ගිණුම ද ඒ අනුව තහනම් කෙරනු ඇත. ජනපති ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වලට පසුගිය ජනවාරි මාසයේ තාවකාලික තහනමක් පැනැවීම සිදුවූයේ පසුගිය ජනවාරියේය. ඒ වනවිට ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

වර්තමානයේ ජනාධිපති ධුරයේ සිටින ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප් සිය ආධාරකරුවන් උසි ගන්වා, වොෂින්ටන් අගනුවර කොංග්‍රස් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට) කඩා වැදීමට, එම ආධාරකරුවන්ට උපදෙස් දුන්නේ සමාජ මාධ්‍ය හරහාය.

ෆේස්බුක් සමාගම තමාට පැනවූ වසර 2 ක තහනම දැඩි අපහාසයක් ලෙස හිටපු ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඇමෙරිකාවේ යළි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2024 දීය. ට්‍රම්ප් යළි ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඊට ඉදිරිපත් වෙනවා යැයි පවසා තිබේ. 2024 ජනාධිපතිවරණයට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය තහනම ඉවත් වනු ඇතැයි ෆේස්බුක් පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

ෆේස්බුක් ජාලය පමණක් නොව, ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය ද ට්‍රම්ප්ගේ ගිණුම් තහනම් කිරිමට පියවර ගත්තේය. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සතුව නිත්‍ය පරිශීලනය කරන්නන් මිලියන 88ක් සිටින බව පැවැසෙයි. ට්විටර් ගිණුම තවමත් අක්‍රිය වී ඇති නමුත්, යූ ටියුබ් සමාජ මාධ්‍ය යළිත් ට්‍රම්ප්ට එය පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ, ට්‍රම්ප්ගෙන් ඇමෙරිකන් සමාජයට එල්ල වුණු තර්ජනය පහව ගියේ යැයි පෙන්වා දෙමිනි.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප්, මේ වනවිටත් ඔහුගේ  නව සන්නිවේදන වෙබ් ජාලයක් විවෘත කර තිබේ. ඒ, කිසිදු බාධාවකින් තොරව සිය අදහස් සමාජගත කිරීමේ අරමුණින්ය. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රකාශ පවා ඉදිරියේ දී මෙම නව වෙබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS