ලිස් ට්‍රස් අගමැති ධුරය එපා කියයි



බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ලිස් ට්‍රස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ මහජන ඡන්දයකින් නොව, ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද විමසුමකිනි.

තමන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වන බව ලිස් ට්‍රස් නිවේදනය කළේ අංක 10 ඩවුනින් වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරියේ අද (20) සවස පැවැති හදිසි මාධ්‍ය හමුවේදීය.

තමන් හඳුන්වාදීමට උත්සාහ ගත් නව ආර්ථික ප්‍රතිපත්ති, රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක් කළ බවත්, තමන් ට පක්ෂ නායිකාව වීමට සහෝදර ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන්ගෙන් ලැබුණු සහාය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී තමන්ට නොලැබුණු බවත් ලිස් ට්‍රස් එහිදී පෙන්වා දුන්නාය.

තමන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වන බව තෙවැනි චාල්ස් රජුට දැනුම් දුන් බව ලිස් ට්‍රස් මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කියා සිටියාය. කෙසේ නමුත් පක්ෂයට නව නායකයකු තෝරා ගන්නා තුරු තමන් භාරකාර අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන බව ද ලිස් ට්‍රස් පැවැසුවාය.

මාග්‍රට් තැචර් සහ තෙරේසා මේ ගෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු තෙවැනි කාන්තාව වූයේ ලිස් ට්‍රස් ය.

ලිස් ට්‍රස්, ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායිකාව බවට පත් වූයේ පසුගිය සැප්තැම්බරයේය. දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්තවීමට පෙර කළ අවසන් නිල කටයුත්ත වූයේ, ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස පිළිගැනීමය.

පසුගිය සැප්තැම්බරයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැති අවසන් වටයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ ඡන්ද විමසුමේ දී ලිස් ට්‍රස්ගේ ප්‍රතිවාදියා වූයේ ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් ය.

ඉදිරියේ දී පක්ෂ නායකත්වය වෙනුවෙන් යළි පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වෙද්දී රිෂී සුනාක් පමණක් නොව, ජනප්‍රියත්වය ගිලිහී පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය අහිමි වුණු බොරිස් ජොන්සන් ද යළි පක්ෂ නායකත්වය වෙනුවෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ද සටන් වැදීමට නියමිතව ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

පක්ෂයට නව නායකයකු තේරා ගැනීමේ කටයුතු ලබන ඔක්තෝබර් 28 වැනිදා ආරම්භ වනු ඇතැයි ‘කොන්සවර්ටිව්’ පක්ෂ සභාපති ග්‍රැහැම් බ්‍රැන්ඩි පවසා තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂය පවසා ඇත්තේ, ‘කොන්සවර්ටිව්’ පක්ෂයට තවදුරටත් බ්‍රිතාන්‍යය පාලනය කිරීමට නොහැකි බවත්, මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතු බවත්ය.

BBC


RECOMMEND POSTS