අග්නිපත් වැඩපිළිවෙළට විරෝධයක්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජය හඳුන්වා දුන්, හමුදාවට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ‘අග්නිපත්’ නමින් නම් කළ නව වැඩසටහනට ජනතා විරෝධයක් එල්ල වී තිබේ.

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල ප්‍රචණ්ඩකාරී අයුරින් විරෝධතා පැවැත්වෙන අතර, රාජ්‍ය දේපොළවලට හානි කිරීම් ද වාර්තා වේ.

බිහාර් පාන්තයේ මොහියුන්ඩිනගර් දුම්රිය ස්ථානයට කඩා වැදුණු විරෝධතාකරුවෝ පිරිසක් හජිපූර් බරානුයි දුම්රිය මාර්ගයේ ධාවනය වන ‘ජම්මු තාවී’ ශීඝ්‍රගාමී මගී දුම්රියට පහර දී ගිනි තැබූහ.

‘අග්නිපත්’ වැඩසටහන යටතේ සිවු වසරක සේවා කාලයක් සඳහා බඳවා ගන්නා අවුරුදු 17 ත් 23 ත් වයසේ තරුණ තරුණියන්ගෙන් සියයට 25ක් වසර හතරක සේවා කාලය අවසානයේ ස්ථිර සේවයට අනුයුක්ත කෙරේ. තරුණ තරුණියන්ගේ කාර්ය සාධනය මත එම තෝරාගැනීම සිදුකරනු ලබයි.

එසේ අනුයුක්ත කරන තරුණ තරුණියන් අවම වශයෙන් වසර 15 වක් හමුදාවේ සේවය කළ යුතුය. එසේ ස්ථිර සේවයට බඳවා ගන්නා තරුණ තරුණියන් ඉන්දීය හමුදාවේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසිවලට යටත් විය යුතුය.

සිවු වසරක සේවා කාලය අවසානයේ හමුදා සේවයෙන් ඉවත් වන තරුණ තරුණියන් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 11.71 දීමනාවක් ගෙවනු ලබන අතර, එම මුදල ආදායම් බදු වලට යටත් නොවන බව ද පැවැසෙයි.

එසේම සිවු වසරක සේවා කාලය තුළ ඔවුන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 48 ක ජිවිතාරක්ෂණයක් ලබා දෙයි. මෙම වසරට පමණක් 2020 සහ 2021 වසරවල බඳවා ගැනීමක් සිදු නොවීම හේතුවෙන් බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 23 ක් දක්වා වැඩි කර ඇති බව ද පැවැසෙයි.

විශ්‍රාම යැවෙන සොල්දාදුවන්ට පාරිතෝෂිත දීමා හෝ විශ්‍රාම වැටුපක් හෝ ලබා දීමක් සිදුවන්නේ ද නැත. ‘අග්නිපත්’ වැඩසටහන සම්බන්ධයෙන් ජනතා විරෝධයක් හටගත්තේ ඒ අනුවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS