රටවල් රැසකට ’ඩෙල්ටා’ තර්ජන



ඕස්ට්‍රේලියාවට, ඉන්දුනීසියාවට, ඊශ්‍රායලයට සහ බංග්ලාදේශයට 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතියෙන් වැඩි බලපෑම් එල්ල වීමට පටන්ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉතාමත් සාර්ථක මෙන්ම වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දී ඇත.

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව නිවේදනය කළේ පසුගිය අප්‍රේල් මාසයේ ය. ඒ, රටේ සියයට 70 කට වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් පසු කොරෝනා වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදුවුණු බැවිනි.

කෙසේ නමුත් මේ වනවිට, 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙන් දිනපතා ආසාදිතයන් 200 බැගින් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඒ අනුව, මුහුණු ආවරණ අනිවාර්ය කිරීම, සංචරණ සීමා පැනැවීම ක්‍රියාවට නංවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ ද දැක්වෙයි.

ඕස්ට්‍රේලියාව, 'කොවිඩ් 19' වයිරසයට මුහුණ දීම ආරම්භ කළේ ප්‍රාන්ත මට්ටමින් ලොක්ඩවුන් කරමිනි. ලොක්ඩවුන් කිරීම් මධ්‍යයේ එන්නත්කරණ වැඩසටහන ද ක්‍රියාත්මක විය. මේ වනවිට 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වූ නව ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ සිඩ්නි නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඒ අනුව, සිඩ්නි නුවර සති දෙකකට ලොක්ඩවුන් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ඕස්ට්‍රේලියාවත් නවසීලන්තයත් අතර සංචාරක බුබුළු ක්‍රමය යටතේ ආරම්භ වුණු ගුවන් ගමන් ද මේ වනවිට තාවකාලිකව නවතා දමා ඇත. නවසීලන්තයේ වෙලිංටන් අගනුවරින් ද ඩෙල්ටා ආසාදියකු වාර්තා වීමත් සමඟ අගනුවර මුළුමනින්ම ලොක්ඩවුන් කළ බව වාර්තා වේ.

ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඩෙල්ටා විකෘතිය හේතුවෙන් එරට ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක් වී ඇති බවත්ය.
ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයට බිලිවුණු වෛද්‍යවරුන් ගණන 500 පසු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ඊයේ (26) දිනයේ පමණක්, ඉන්දුනීසියාවෙන් නව ආසාදිතයන් 21,000 ක් වාර්තා වූ බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දුනීසියාවෙන් එක් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන මෙය යැයි ද පැවැසෙයි. ඉන්දුනීසියාවේ ද එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුවෙමින් පවතී.

බංග්ලාදේශ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, 'ඩෙල්ටා' වයිරස විකෘතියේ ව්‍යාප්තියත් සමඟ හෙට (28) සිට දින 7 ක් බංග්ලාදේශය මුළුමනින්ම 'ලොක්ඩවුන්' කෙරේ. හදිසි අවස්ථාවකදී හැර කිසිවකුට නිවෙස්වලින් පිටවීමට නොහැකි බව බංග්ලාදේශ රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

ඉන්දියාවේ 'කොවිඩ් 19' දෙවැනි රැල්ලට හේතුවක් වූයේ මෙම 'ඩෙල්ටා' විකෘතියයි. පළමුවෙන් ඉන්දියාවෙන් හමුුවුණු මෙම විකෘතිය දෙමුහුම් වයිරස ප්‍රභේදයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝකයේ රටවල් 80 කට මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී අවසන්ය. ඇමෙරිකාවේත්, යුරෝපා රටවලත් යළිත් ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත්තේ ද මෙම 'ඩෙල්ටා' විකෘතිය හේතුවෙනි. ඇමෙරිකාවේ බහුලව හමුවන්නේ 'ඩෙල්ටා' ආසාදිත පුද්ගලයන් බව එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි.

'කොවිඩ් 19' වයිරසයේ ප්‍රභේද අතරින් වඩාත් බිහිසුණු වයිරස ප්‍රභේදය ලෙස 'ඩෙල්ටා' හඳුන්වා දීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

මීට අමතරව, 'ඩෙල්ටා' විකෘතිය ද තවත් විකෘති වී 'ඩෙල්ටා ප්ලස්' යනුවෙන් නව ප්‍රභේදයක් නිර්මාණය කර ඇති අතර එය යුරෝපා රටවලත් ඉන්දියාවෙත් ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. 'ඩෙල්ටා ප්ලස්' ආරම්භ වූයේ යුරෝපයෙනි. ඒ, 'ඩෙල්ටා' ප්‍රභේදය ඉන්දියාවෙන් යුරෝපය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS