රුසියාවට කවදාවත් යුක්රේනය දිනාගන්න බෑ



යුක්රේනය ආක්‍රමණය කළ රුසියාවට, කිසිම දිනෙක යුදමය ජයග්‍රහණයක් නොලැබෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය වසර ගණනක් දිග් ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි පවසයි.

‘රුසියනු යුක්රේන අර්බුදය යුදමය වශයෙන් ජයගන්න රුසියාවට හැකිවන්නේ නැහැ. එසේ ජය ගන්න අප අවස්ථාවක් දෙන්නෙත් නැහැ. යුක්රේනය සමඟ බලවත් රටවල් රැසක් එක් වී සිටිනවා.’ යැයි හමුදාපතිවරයා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

‘රුසියාව මුලින් උත්සාහ කළේ දේශපාලනික වශයෙන් යුක්රේනය යටත් කර ගන්නයි. ඒත් ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජනාධිපති ධුරයට පත්වීම එය අසීරු කළා. සෙලෙන්ස්කී බටහිර අපට හිතවත් නායකයෙක්. යුක්රේනය පාලනය කිරීම අසීරු වුණු නිසා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගත්තා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ. රුසියාව දීර්ඝ කාලීය යුද්ධයකට මැදිවී සිටිනවා’ යැයි ඇමෙරිකන් හමුදාපති ජනරාල් මයික් මයිලි මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කළේය.

මේ අතර යුක්රේනයට පත් කර සිටින චීන නියෝජිත ලී හුයි රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. රුසියනු යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණින්, චීනය ඊට මැදිහත් වී සිටී. චීන රජය රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සාම වැඩපිළිවෙළක් ද සකසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS