ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: 10 ක් මරුට: 10 ක් රෝහලේ



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ගැබි්‍රයෙල් නිම්නයේ, මොන්ටෙරි පාර්ක් නගරයේ, චීන නව අවුරුදු සමරුමකට කඩා වැදුණු වයෝවෘද්ධ පුද්ගලයකු කළ වෙඩි තැබීමකින්, 10 දෙනකු මියගොස් තවත් 10 දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළේ ඇමෙරිකාවේ ජීවත් වන චීන ජාතිකයකු වන හූ කැන් ට්‍රාන් නමැත්තා බව තහවුරු වීමත් සමඟ පොලිසිය ඔහු කොටු කර ගැනීමට මෙහෙයුම් ආරම්භ කළේය. 

හූ කැන් ට්‍රාන් කොටු කර ගැනීමට පොලිසිය සමත් වූයේ මොන්ටෙරි පාර්ක් නගරයට නිරිත දෙසින් පිහිටි ටොරෙන්ස් නගරයේදීය. පොලිසිය වට කළ අවස්ථාවේ හූ කැන් ට්‍රාන් වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි.

චීන ජාතිකයන්ගේ දින දර්ශනයට අනුව, නව අවුරුදු උදාව සැමරීම පසුගිය සති අන්තරේ සැමරීම සිදුවිය. විදේශගත චීන ජාතිකයෝ ද දින දෙකක් තිස්සේ අවුරුදු සැමරුම්වලට සහභාගී වූහ. ‘මොන්ටෙරි පාර්ක්’ නගරයේ පැවැති අවුරුදු සැමරුම, ඇමෙරිකාවේ චීන ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු විශාලතම අවුරුදු සැමරුම ද විය.

‘මොන්ටෙරි පාර්ක්’ නගරයේ උත්සව ශාලාවට කඩා වැදී වෙඩි තැබීම කළ 72 හැවිරිදි වන හූ කැන් ට්‍රාන්, එසැණින් එතැනින් පලා ගොස් තිබේ. පොලිසිය ඔහු ලුහු බැඳීම කළේ ඉන්පසුවය.

‘පොලිස් නිලධාරීන් සැකකරු කොටු කර ගනිද්දී, ඔහු සිටියේ වෑන් රියේ. ඔහු වෙඩි තබා ගෙන දිවි නසා ගත්තා’ යැයි ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් රොබට් ලූනා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. හූ කැන් ට්‍රාන් වෙඩි තැබීම කළේ ඇයිදැයි පොලිසිය තවමත් අනාවරණය කරගෙන නැත.

වෙඩි තැබීමේ සිද්ධියට වෙනත් කිසිවකු සම්බන්ධ නැහැ. එසේ වුවත් අප වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම කරගෙන යනවා’ යැයි ෂෙරිෆ් රොබට් ලූනා වැඩි දුරටත් පැවැසුවේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. වෙඩි ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සොව පළ කරමින් ජාතික ධජ අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS