හිමාලයේ ගම්මානයකට දැඩි ශීත කාලගුණයක්



ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව පිහිටා ඇති ලඩාක් නම් ගම්මානයට දැඩි ශීත කාලගුණික තත්ත්වයක් බලපා ඇත.

මේ දිනවල එහි උෂ්ණත්වය රාත්‍රී කාලයේ සෙල්සියස් අංශක ඍණ 17ක් සහ දිවා කාලයේ සෙල්සියස් අංශක ඍණ 8ක් තරම් පහළ අගයක් ගන්නා බව සඳහන්ය. ප්‍රදේශය පුරා පවතින අධික ශීතල කාලගුණය නිසා ඇතැම් පිරිස් ගිනිමැල ගසා ඇඟ උණුසුම් කරගැනීමට කටයුතුකරන බවද  දැක්වෙයි.

ඉන්දියාවේ ශීතල වැඩිම ප්‍රදේශ අතරට අයත් ලඩාක් හි උෂ්ණත්වය ඉදිරියේදී සෙල්සියස් අංශක ඍණ 30දක්වා පහත වැටෙනු ඇති බව එරට කාලගුණ අංශ පවසයි.

මේ අතර ශීත කාලගුණික තත්ත්වය දැඩි ලෙස බලපා ඇති කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රීනගර් හි උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක ඍණ 7.8ක් තරම් පහළ අගයක් ගන්නා බව වාර්තා වෙයි.

එහි එවැනි උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වසර 28කට පසුව පළමු වරටයි.

මේ අතර නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන් ප්‍රමාද වී ඇති බව ද පැවසෙයි.

යුරෝපය හා සසඳා බැලීමේදී දකුණු ආසියාවේ ශීත කාලය තරමක් සෞම්‍ය ස්වභාවයක් ගන්නා නමුත් ඉන්දියාවට එම තත්ත්වය තරමක් දැඩි ලෙස බලපවත්නා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

( තිළිණි ද සිල්වා )

හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS