හිටපු උප ජනපතිනියට ප්‍රහාරයක්



සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු උප ජනාධිපතිවරියක සහ වත්මන් විපක්ෂ නායිකාව ද වන ජොයිස් මුජුරුට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇගේ ‘ජනතා පක්ෂය’ කියයි.

ජොයිස් මුජුරු ජනතා පක්ෂ රැලියකට එක් වී සිටිද්දී මෙම ප්‍රහාරයට ලක් විය. ප්‍රහාරය එල්ල කළේ යැයි චෝදනා ලැබ ඇත්තේ පාලක ‘සුනු දේශප්‍රේමී පෙරමුණ’ පක්ෂයේ සාමාජිකයන්ටය.

ජොයිස් මුජුරුගේ තත්ත්වය බරපතල නොවන බව ඇගේ විපක්ෂ ජනතා පක්ෂය කියයි. රැලියට එල්ල වුණු එම ප්‍රහාරයෙන් ජනතා පක්ෂයේ තවත් සාමාජිකයෝ අට දෙනෙක් තුවාල ලැබූහ.

සිම්බාබ්වේ රාජ්‍යය පසුගිය වසර අවසන් වෙද්දී විශාල දේශපාලන පරිවර්තනයකට ලක් විය. ඒ, වසර 37 ක් තිස්සේ බලයේ රැඳී සිටි ඒකාධිපති ස්වරූපයකින් බාලනය ගෙන ගිය රොබෙට් මුගාබේ බලයෙන් ඉවත් කිරීමත් සමඟය.
මුගාබේගේ ඉවත් වීමෙන් පසු ජනපති ධුරයට පත් වූයේ උප ජනපති ධුරය හෙබවූ එමර්සන් මුනගැග්වාය.

මේ වසර අවසන් වෙද්දී, සාමකාමී මෙන්ම සාධාරණ ජනපතිවරණයක් පැවැත්වීමට මුනගැග්වා පොරොන්දුවක් ලබා දී තිබේ.

විපක්ෂයේ සාමාජිකාවක් වීමට පෙර, ජොයිස් මුජුරු සානු දේශප්‍රේමී පක්ෂයේ සාමාජිකාවක වූවාය. ජනපති මුගාබේගේ දෙවැනියා ලෙස ජොයිස් මුජුරු කටයුතු කළේ 2014 තෙක්ය. 2014 වසරේ දී මුජුරු බලයෙන් නෙරපා දැමුණි. ඒ, මුගාබේගේ බිරිය ග්‍රේස්ගේ බලපෑම් නිසා යැයි පැවැසෙයි.

එම අවස්ථාවේදී ඇය සානු දේශප්‍රේඹී පක්ෂයෙන් ද නෙරපා දැමුණි. ඇය විපක්ෂයට එක් වූයේ ඉන්පසුවය. දැන් විපක්ෂය වන ජනතා පක්ෂයේ නායිකාව වන්නේ ඇයයි.

(රොයිටර්)


RECOMMEND POSTS