හැකර් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව පියවර ගන්නවා -බැරැක් ඔබාමා



(ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව හැකර් ප්‍රහාරයක් එල්ල කළ බවට පැවැසෙන වාර්තා සම්බන්ධයෙන් පියවර ගන්නා බවද එපමණක් නොව රුසියාවට එරෙහිවද පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය. 
“අපි පියවර ගත යුතුයි. අපි පියවර ගන්නවා” යැයි එන්.පී.ආර් පුවත් සේවය හා එක්වෙමින් බැරැක් ඔබාමා කීවේය. 
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ සහ එම පක්ෂයේ විද්‍යුත් ලිපිනවලට (ඊ මේල්) හැකර් ප්‍රහාර එල්ල කළ බවට රුසියාවට චෝදනා එල්ල වී ඇති නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක අංශය මෙහෙය වූ ජෝන් පොඩෙස්ටාගේ ඊ මේල් පණිවිඩයලට ද හැකර් ප්‍රහාර එල්ල වී තිබිණි. 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් දිනවීමට රුසියාව උපකාර කළ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ඩොනල්ඞ් ට්‍රම්ප් ෆොක්ස් රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීමට හැකර්කරුවන් කටයුතු කළ බවත් එම හැකර්කරුවන් රුසියානු රජයට සම්බන්ධ පිරිස් යැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් ඇමෙරිකා බුද්ධ අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. 
රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හැකර් ප්‍රහාරවලට සෘජුවම සම්බන්ධ වූ බව එන්.බී.සී පුවත් සේවය බ්‍රහස්පතින්දා වාර්තා කළේය. ඒ බව ධවල මන්දිර ප්‍රකාශයකුද බ්‍රහස්පතින්දා දිනයේදී වාර්තා කර තිබිණි. 
“අපේ මැතිවරණයට විදේශයක් මැදිහත් වී ඇති බවට තොරතුරු තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා” යැයි ඔබාමා එහිදි කීය. 
“සමහර තොරතුරු හෙළි කළ හැකියි. සමහර දේවල් හෙළි කරන්න බැහැ. රුසියා ජනපති පුටින් මේ ගැන දන්නවා. මේ සම්බන්ධයෙන් මම ඔහු සමඟ සෘජුවම කතා කළා” යැයි ද ඔබාමා පැවැසීය. 
ඇමෙරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් පියවර ගන්නේ කවදාද තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැත. ජනපති බැරැක් ඔබාමා ජනවාරි 20 වැනිදා ජනපතිධුරයට සමුදීමට නියමිතය. 
මැතිවරණය සමයේදී ඊ මේල් පණිවිඩ අනාවරණය කිරීම ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට දැඩි බලපෑමක් එල්ල කළේය.
මේ අතරම රුසියාව රිපබ්ලික්න පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීමට කටයුතු කළ බව ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය මේ වන විට අනාවරණය කර ඇතත් ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් මේ වනතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. 
ජනාධිපතිවරණයේදී ලද පරාජය හා ලැජ්ජාව වසා ගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඊට රුසියාව ඇඳා ගනිමින් සිටින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. 
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයදීම රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇගයීමට පත් කළේය. එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම්වරයා ලෙස තෝරා ගෙන තිබෙන තෙල් ව්‍යාපාරික රෙක්ස් තිලර්සන් පත් කිරීමද බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සිදුවීමකි. රෙක්ස් තිලර්සන්  රුසියානු ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. 
“රුසියාව හෝ වෙනත් රටක් හෝ කවුරුන් හෝ හැකර් ප්‍රහාරයක් එල්ල කළා නම් ධවල මන්දිරය හෝ බලධාරීන් හෝ මෙතරම් කාලයක් බලා සිටින්නේ ඇයි? හිලරි ක්ලින්ටන් පැරැදුණු පසු මේ දේවල් කියන්නේ ඇයි” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විමසා තිබිණි. 
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර ඔක්තෝබර් මාසයේදී ඔබාමා පරිපාලනය ඇමෙරිකාවේ ඊමේල් පණිවිඩ හා දේශපාලන වෙබ් අඩවිවලට හැකර් ප්‍රහාර එල්ල කළ බවට රුසියාවට චෝදනා කළේය. 
ඩොනල්ඩි ට්‍රම්ප් මේ වනවිට කාර්යමණ්ඩලය සඳහා නිලධාරීන් පත් කරමින් සිටින අතර ඔහු ඊශ්‍රායලයේ ඇමෙරිකා තානාපතිවරයා ලෙස ඬේවිඞ් ෆ්‍රීඩ්මෑන් තෝරාගෙන ඇතැයි ද එරට පුවත් සේවා වාර්තා කර තිබිණි.

RECOMMEND POSTS