සූ කීට දුන් සාම තෑග්ග ආපසු ගන්න



මියන්මාරයේ සුළු ජාතික ප්‍රජාව වන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට හෝ එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් බේරා ගැනීමට හෝ මියන්මාර නායිකා අවුන් සාන් සූ කී ඉදිරිපත් නොවන හෙයින්, ඇයට ලබා දී ඇති නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබා ගන්නැයි නෝර්වේ නොබෙල් කමිටුවට පෙත්සමක් ලැබී ඇත.

අන්තර් ජාලය හරහා ලැබුණු එම පෙත්සමට ලොව නන්දෙසින් 2,92,000 දෙනකු මේ වනවිට අත්සන් තබා ඇතැයි ද නොබෙල් කමිටුව නිවේදනය කර තිබේ. අවුන් සාන් සූ කී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබද්දී ඇය මියන්මාර හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවූවාය.

මේ අතර රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ගැන සොයා බැලීමට මියන්මාරයේ සංචාරය කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක වන යැංග්හේ ලී, මියන්මාර නායිකාව මෙන්ම එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව ද වන අවුන් සාන් සූ කී දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද වාර්තා වේ.

ගැටුම්වලට බියෙන් පණ බේරා ගනිමින්, පසුගිය දින කිහිපය තුළ බංග්ලාදේශයට පලා ගොස් සිටින මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ගණන 87,00 කි.

මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් බහුලව පදිංචි වී සිටින්නේ මියන්මාරයේ රකීන් පළාතේය. ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ඇරැඹුණේ පසුගිය 2016 වසරේදීය. කෙසේ නමුත් ජාත්‍යන්තරයෙන් එල්ල වුණු බපලෑම් හේතුවෙන් එම ප්‍රචණ්ඩ ක්‍රියා තාවකාලිකව අඩුවී තිබුණු බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ගැන සොයා බැලීමට මියන්මාරයේ සංචාරය කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය යැංග්හේ ලී එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර ඇත්තේ නායිකා අවුන් සාන් සූ කී එම මුස්ලිම් වැසියන් ගැන කිසිදු තැකීමක් නොකරන බවත්, සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඇය නොදැක්කා සේ සිටින බවත්ය.

ජනපති ධුරය හෙබවීමට නොහැකි නමුත් අවුන් සාන් සූ කී, මියන්මාරයේ නිල නොවන නායිකාව වෙයි. මියන්මාර විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කරන්නේ ද සූ කී ය.

(රොයිටර්)


RECOMMEND POSTS