සරණාගතයන් ගෙන්වා ගන්න කැමැතියි



බංග්ලාදේශයේ රැඳී සිටින මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් අතරින් තෝරා ගන්නා පිරිසක්, කැනඩාවට ගෙන්වා ගැනීමට කැනඩා රජය සූදානම් බව කැනඩා විදේශ ඇමැතිනී සින්තියා ෆ්‍රීලන්ඞ් පවසා ඇත.

විදේශ ඇමැතිනිය මේ බව කියා සිටියේ, බංග්ලාදේශ සංචාරයක් අතරතුරේ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා හමුවෙමිනි.

මියන්මාරයේ ගැටුම්වලින් බේරී, බංග්ලාදේශයට පැමිණ සිටින රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ගණන ලක්ෂ 7 කට ආසන්නය. ඔවුන් ජීවත් වන්නේ සරණාගත කඳවුරුවලය. පිරිස නඩත්තු කිරීමට බංග්ලාදේශ රජයට විදෙස් ආධාර හිමිවෙයි. බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වුවත්, එම මුස්ලිම් සරණාගතයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

බංග්ලාදේශයේ සංචාරය කළ කැනඩා විදේශ ඇමැතිනිය බංග්ලාදේශ රජයට පවසා ඇත්තේ රොහින්ග්‍යා සරණාගතයන් අතර සිටින, අතවරයන්ට ලක් වුණු තරුණියන් ඇතුළු තෝරා ගත් පිරිසක් කැනඩාවට ගෙන්වා ගැනීමට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කැමැත්ත පළ කර ඇති බවය.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා වන ඒජන්සියේ ද සහාය ලබා ගන්නා ලෙස කැනඩාව, බංග්ලාදේශ රජයට දන්වා ඇත. කෙසේ නමුත්, අගමැතිනී ෂෙයික් හසීනාගෙන් හෝ බංග්ලාදේශ රජයෙන් හෝ ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS