සම්ප්‍රදාය කඩකරලා : ට්‍රම්ප්ට චෝදනා



ඇමෙරිකාවේ නිදහස් දිනය ඊයේ (ජූලි 4) ට යෙදී තිබුණු අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංකල්පයකට අනුව, නිදහස් දිනය සමරමින්, ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වරට වොෂින්ටන් අගනුවර හමුදා පෙළපාළියක් පැවැත්විණි.

හමුදා පෙළපාළියට යුද ටැංකි පවා එක් කර ගෙන තිබුණි. හමුදා පෙළපාළිය අවසන් වීමෙන් පසු, ජනපති ට්‍රම්ප් විශේෂ කතාවක් ද පැවැත්වීය. සාම්ප්‍රදායික වශයෙන් ඇමෙරිකාව ජූලි 4 වැනිදා නිදහස සමරන්නේ දේශපාලනයෙන් තොරවය.

නගර සහ ප්‍රාන්ත මට්ටමින්, සංදර්ශන පෙළපාළි පැවැත්වුණත්,  හමුදා පෙළපාළියක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය. සුපුරුදු පරිදි ප්‍රධාන නගර කේන්ද්‍ර කොට ගනිමින් මල් වෙඩි සංදර්ශන පැවැත්විණි.

වොෂින්ටන් අගනුවර මධ්‍යයේ යුද ටැංකි ද, ඉහළ අහසේ ප්‍රහාරක ගුවන් යානා, ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කතාවක් ද පැවැත්වෙනවා යනුවෙන් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය “ජීවිත කාලයේ සංදර්ශනය” කිරීමට සූදානම් වන බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සම්ප්‍රදාය කඩකළ බවට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබිණි. ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන අතර එය අයත් වන්නේ කොලොම්බියානු දිස්ත්‍රික්කයටය.

කොලොම්බියානු දිස්ත්‍රික් ආණ්ඩුව ට්‍රම්ප්ගේ නිදහස් දින සැමරුමට මුදල් ලබා නොදෙන බව සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාට වෙන් කෙරෙන මුදලින් හෝ තමා නිදහස් දින සැමරුම් උත්සවය පවත්වන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙම නිදහස් දින සැමරුමට එරෙහිව පසුගිය දින කිහිපයේදීම වොෂින්ටන් නුවරදී විරෝධතා ද පැවැත්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්ප්‍රදාය අනුව නිදහස් දිනය අපක්ෂපාතීව පැවැත්වේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා එම සම්ප්‍රදාය කඩ කරමින් නිදහස් දිනය ඔහුගේ උත්සවයක් කරගනිමින් ඊට දේශපාලනය සම්බන්ධ කර ඇතැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ.

“අපගේ නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබෙනවා. ලින්කන් අනුස්මරණ ස්මාරකය ඉදිරියේ සිට අපි ඇමෙරිකාවට ආචාර කරනවා. එය ඉතා විශාලයි. එය ජීවිතකාලයටම වරක් පැවැත්වෙන දැවැන්ත සංදර්ශනයක්” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.
“ලෝකයේ විශිෂ්ටතම ආර්ථිකය තිබෙන්නේ අපිට. කිසිදු රටකට අපට වගේ ආර්ථිකයක් නැහැ. ලෝකයේ හොඳම හමුදාව සිටින්නේ අපට. නරකක් නැහැ” යැයි ද ට්‍රම්ප් කීවේය.

“නිදහස් දිනය කියන්නේ මිනිස්සු තමන්ගේ වෙනස්කම් පැත්තකින් තියලා එකමුතුව ඉන්න දවසක්. නිදහස් දිනය දවසට මිනිස්සු දේශපාලනය කතා කරන්නේ නැහැ. හැමෝම ඇමෙරිකා ධජය ඔසවනවා. ඊට පස්සේ ජූලි 5 වැනිදා සාමාන්‍ය විදියට වැඩ කරනවා” යැයි ඇමෙරිකාවේ මාධ්‍ය සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව විශේෂඥයකු හා මහාචාර්යවරයකු වන රිච් හැන්ලී පැවැසීය. එහෙත් මේ වසරේදී එම සම්ප්‍රදාය කඩ වී ඇති බවත් නිදහස් දිනය පිටපතකට අනුව සිදුවන බවත් හැන්ලී කීය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS