වූහාන් යන්න බෑ කියයි



නව කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කොටු වී සිටින බංග්ලාදේශ වැසියන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි බංග්ලාදේශ රජය, එරට ජාතික ගුවන් සේවය වන ‘බිමාන්’ ගුවන් සේවයෙන් ඉල්ලීමක් කර ඇති නමුත්, එම ගුවන් සේවය වූහාන් යෑම ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය සතියේ ‘බිමාන්’ ගුවන් සේවය, එරට රජය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි කඩිනමින් වූහාන් බලා ගොස්, වූහාන් නුවර කොටුවී සිටි බංග්ලාදේශ වැසියන් 312 දෙනකු ආපසු රැගෙන ආවේය. තවත් බංග්ලාදේශ වැසියෝ 171 දෙනක් තවමත් වූහාන් නුවර කොටු වී සිටිති.

එම 171 දෙනා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට බංග්ලාදේශ රජය උත්සාහ ගෙන ඇති නමුත්, ‘බිමාන්’ ගුවන් සේවයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් පවසා ඇත්තේ, යළි වූහාන් නුවරට යෑම අවදානම් බවය.

ඒ අනුව, වූහාන් නුවර කොටුවුණු 171 දෙනා මුදා ගැනීමට ක්‍රමයක් නොමැති බව බංග්ලාදේශ විදේශ ඇමැති ඒ.කේ. අබ්දුල් මොමෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.

බංග්ලාදේශයෙන් මෙතෙක් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවී නැත. බංග්ලාදේශ රජයේ උපදෙස් පරිදි විශේෂ ගුවන් යානයකින් වූහාන් සිට ගෙනා 312 දෙනා පසුගිය පෙබරවාරි 1 වැනිදා සිට තවමත් හජ් වන්දනාකරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති කඳවුරකට යවා නිරෝධායනය (වෙන් කර තැබීම) ක්‍රියාවලියකට ලක් කර ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS