වන්දනා නඩයට ත්‍රස්ත ප්‍රහාරයක්



ඉන්දු කාශ්මීර ප්‍රදේශයේ දී, හින්දු වන්දනා නඩයක් ගමන් කළ බස් රියකට 10 වැනිදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 12 කි.

හින්දු වන්දනා නඩය රැගත් බස් රිය ගමන් කරමින් තිබුණේ පොලිස් ආරක්ෂාවක් ද යටතේය. පොලිස් ජිප් රියක් බස් රියට ඉදිරියෙන් ගමන් කරමින් තිබුණි. ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයට පොලිස් නිලධාරීහු ද හසුවූය. තුවාල ලැබූ 12 දෙනා අතර පොලිසියේ තිදෙනෙක් ද වෙති.
බස්රිය වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙරේදා රාත්‍රී 8.30 ට පමණ දකුණු දිග කාශ්මීරයේය. බස් රිය ධාවනය වෙමින් තිබුණේ ජම්මු ශ්‍රී නගර් අධිවේගී මාර්ගයේය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කරන ලද අතර ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි. ඉන්දීය ආරක්ෂක අංශ පැවැසුවේ ප්‍රහාරය එල්ල කළේ ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය බවය.
‘ලෂ්කාර් ඊ තයිබා’ පාකිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයකි. 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවරට කඩා වැදී පහර දුන්නේ ද මෙම ත්‍රස්ත සංවිධානයයි.

වන්දනාකරුවන්ට එල්ල වුණු එම ප්‍රහාරය හෙළා දැකීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු ඇමැති රාජ්නාත් සිං කටයුතු කළේය. වන්දනා නඩය ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මෙම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක් විසින් ද හෙළා දකිනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS