ලෝක නායකයන්ගෙන් මෝදිට සුබ පැතුම්



ලෝක්සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකරගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් හිමිවී ඇත.

ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර, ඇමෙරිකාව කියා සිටියේ, කුමන පක්ෂයක් ඉන්දියාවේ බලයට පත් වුණත් තමන් එම පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවය.

යළි අගමැති ධුරය හිමිවන මෝදි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ද සමීප මිතුරෙකි. ඇමෙරිකා ජනාධිපතිවරයා මෝදිට සුබ පැතුවේ ට්විටර් පණිවුඩයක් හරහාය. ඉන්දු ඇමෙරිකානු සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයක් වාර්තා කළ අවස්ථාවේ පළමුවෙන්ම මෝදිට සුබ පැතුවේ  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. චීන ජනාධිපති ෂී ජින්පින් අගමැති මෝදිට සුබ පතමින් පවසා ඇත්තේ ඉන්දු චීන සබඳතා නව මඟකට යොමු කිරීමට හැකිවනු ඇති බවය. ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුදයක් පවතී.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මේ ඇතුළු බටහිර නායකයන් පමණක් නොව ආසියානු කලපීය නායකයන් රැසක් අගමැති මෝදිට සුබ පැතුම් එක් කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

භාරතීය ජනතා පක්ෂය ආසන 300 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමත් සමඟ ඉන්දියාවේ අගමැති ධුරය මෝදිට හිමිවනු ඇත්තේ දෙවැනි වරටය. මෝදි පවසා ඇත්තේ ඉන්දීය ජනතාවගේ යහපත වෙනුවෙන් තමන් සියයට සියයක් කැපවෙන බවය. සමෘද්ධිමත් ශක්තිමත් ඉන්දියාවක් ගොඩනගනවා යැයි මෝදි ජනතාවට පොරොන්දුවක් දී ඇත.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS