රාජ්‍ය නොවන සංවිධාන තහනම්



සංක්‍රමණිකයන්ට සහාය පළ කරන සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන රටින් තහනම් කරන බව, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තින්දු තීරණ ගන්නා ඉතාලි අභ්‍යන්තර කටයුතු ඇමැති මැටියෝ සල්වීනි පවසයි.

සංක්‍රමණිකයන් ඉතාලියට ගෙන්වා ගැනීමෙහිලා රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වී කටයුතු කරන බවටත්, මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් ඉතාලියට පැමිණීමට එම සංවිධාන සංක්‍රමණිකයන් දිරිගන්වන බවටත් අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා චෝදනා කර ඇත.

ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටින 50,000 ක පිරිසක් ආපසු ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද අභ්‍යන්තර කටයුතු ඇමැති මැටියෝ සල්වීනි පවසා ඇත.

ඉතාලි රජය ෆයිව් ස්ටාර් මූව්මන්ට් සහ ලේගා යන දේශපාලන පක්ෂ දෙකෙහි සන්ධානයයි. ඉතාලියේ අගමැති ගුසෙප් කොන්තේය. මැටියෝ සල්විනී නියෝජනය කරන්නේ ලේගා පක්ෂයයි. ඔහු එම පක්ෂයේ නායකයාය.

මේ වනවිට, දස දහස් ගණනින්, සංක්‍රමණිකයන් ඉතාලියට පැමිණ සිටින බව පැවැසෙයි. ඔවුන්ගෙන් වැඩි දෙනා අප්‍රිකා සහ මැදපෙරදිග රටවල වැසියන්ය. ඔවුන් ඉතාලියේ සරණාගත කඳවුරුවල ජීවත් වන බවත්, එම කඳවුරු මේ වනවිට පිරී ඉතිරී ගොස් ඇති බවත් පැවැසෙයි.

සංක්‍රමණිකයන් හේතුවෙන් අර්බුදයට ලක් වී සිටින අනෙක් යුරෝපා රට වන්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ සංක්‍රමණික කඳවුරු ද මේ වනවිට පිරී ගොස් ඇත.

මධ්‍යම යුරෝපා රටවල නායකයෝ පසුගිය දා රැස්වී මෙම සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. 1,60,000 ක පිරිසක් සංක්‍රමණික කඳවුරුවලින් ඉවත් කිරීමට ඉතාලියෙන් යෝජනාවක් ඉදිරිපත් වුවත්, සෙසු යුරෝපා නායකයන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. සංක්‍රමණික අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමයේ ද බෙදීමක් හටගෙනන ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS