මදුරෝට රුසියාවේ ස්පුට්නික් එන්නත



 

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන, රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ එන්නත ලබා දීම සිදුවිය.

වෙනිසියුලා ජනාධිපතිවරයාට පමණක් නොව, ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලොරේස්ට ද එන්නත ලබා දුන් අතර, වෙනිසියුලා රාජ්‍ය මාධ්‍ය හරහා එන්නත් ලබාදීම සජීවී ලෙස විකාශය කෙරුණි.

ලතින් ඇමෙරිකන් රාජ්‍යයක් වන වෙනිසියුලාව ‘කොවිඩ් 19’ වයිරස වසංගතයට මුහුණ දෙන්නේ, ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය. රුසියාව වෙනිසියුලාවේ සමීපතම මිතුරාය. වෙනිසියුලා රජයට, ‘ස්පුට්නික් 5’ එන්නත ලබා ගැනීමට හැකිවූයේ එම මිතුදම් හරහාය.

වෙනිසියුලාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,42,338 පසු කර තිබේ. මරණ වාර්තා වී ඇත්තේ 1,384 ක් ලෙසය. කෙසේ නමුත් වෙනිසියුලා සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ, සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී ඇති බැවින්, රෝගීන්ගේ ගණන සහ මරණ ගණන තව තවත් ඉහළ අගයක් ගන්නා බවය.

වෙනිසියුලාවට රුසියාවෙන් ‘ස්පුට්නික් 5’ එන්නත් මාත්‍රා දෙලක්ෂයක් ලැබී ඇති අතර, ජනාධිපති මදුරෝ එන්නත ලබා ගෙන ඇත්තේ, පළමු අදියර යටතේ එන්නත් එරට සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට ලබා දීමෙන් පසුවය. මේ වනවිට චීනයේ නිෂ්පාදිත ‘සිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ද වෙනිසියුලාවට ලැබී ඇතැයි පැවැසෙයි.

කැරැකස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS