බින් ලාඞ්න්ගේ පුතා වෙනුවෙන් ඩොලර් මිලියනක්



අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුතකු වන හමාසා බින් ලාඞ්න් අල්ලා ගැනීමට උදව් කරන්නේ නම් හමාසා බින් ලාඞ්න් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ඇමෙරිකාව කියයි.

හමාසා බින් ලාඞ්න් නැගී එන ත්‍රස්ත නායකයකු යැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. ඔහු සැඟවී සිටින්නේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේය. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී හමාසා බින් ලාඞ්න් ඇමෙරිකාවට පහර දෙනවා යැයි තර්ජනය කරමින්, හඬපට සහ වීඩියෝ පට නිකුත් කර ඇති බව ද පැවැසෙයි. ඒ, තම පියා වූ ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීමේ පළිය ගන්නා බව කියමිනි.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා, අල්කයිඩා සංවිධානය ඇමෙරිකාවට මගී ගුවන් යානා යොදා ගනිමින් පහර දුන්නේ ඔසාමා බින් ලාඞ්න්ගේ අණ පරිදිය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 3,000 කි.

එම ප්‍රහාරයෙන් පසු ඔසාමා බින් ලාඞ්න් ඇෆ්ගනිස්තානයට පලා ගොස් ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවිණි.

ඇමෙරිකා හමුදා, සෙසු නේටෝ රටවල හමුදා ද හවුල් කර ගනිමින්, පහර දී තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඉන්පසුවය.

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කෙරුණේ 2011 දී. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ මහල් නිවසක සැඟවී ජීවත් විය. බින් ලාඞ්න් ඝාතනය සිදු කළේ ඇමෙරිකන් හමුදාව කළ රහස් මෙහෙයුමකිනි. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.

ඉන්දීය ප්‍රහාරක යානා, පසුගිය 26 වැනිදා, පාකිස්තාන දේශසීමාව උල්ලංඝනය කරමින් බලාකොත් නමැති ප්‍රදේශයේ ඉස්ලාමීය ත්‍රස්ත පුහුණු කඳවුරකට පහර දී විනාශ කළ බව පැවැසෙයි. බලාකොත් ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇබොට්ටාබාද් නුවරට ඔබ්බෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS