බ්‍රසීලයේ කොරෝනා දරුණුයි



බ්‍රසීලයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය මේ වනවිට ඉතා ඉහළ ගොස් ඇති බවත්, එරට සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බවත් වාර්තා වේ.

ඊයේ (10) වනවිට බ්‍රසීලයේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 11,210,000 පසු කළේය. මරණ 271,000 පසු කළේය. බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් සහ මරණ මීටත් වඩා වැඩි විය හැකි බවය. ගතවුණු පැය 24 ඇතුළත බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා මරණ 1,704 කි. ආසාදිතයන් වාර්තා වූයේ 55,683 ක් ලෙසය.

ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඒ, ඇමෙරිකාවට සහ ඉන්දියාවට පසුවය. ආසාදිතයන් අතින් තෙවැනි ස්ථානයේ පසුවුවත් කොරෝනා මරණ අතින්, බ්‍රසීලය ඇත්තේ දෙවැනි ස්ථානයේය. බ්‍රසීලයේ ප්‍රාන්ත 27 ක් ඇති අතර එයින් 25 ක් දැඩි අවදානම් ප්‍රාන්ත ලෙස නම් කර ඇතැයි ද වාර්තා වේ.

ඉදිරියේ දී මරණ අතින් බ්‍රසීලය ඇමෙරිකාව පසු කරනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර තිබේ. මේ අතර නිවාස සහ වීදිවල කොරෝනා මළ සිරුරු ගොඩ ගැසී ඇති බවත්, ඒවා ගෙන යෑමට හෝ කිසිවකු පැමිණෙන්නේ නැති බවත් බ්‍රසීල වැසියෝ මැසිවිලි නගති.

ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයේ මේ අයුරින්, ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ ගියේ එරට ජනාධිපති ජාර් බොල්සරානෝ ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැවිනි. ජනාධිපති බොල්සරානෝ ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සිටියේය.

මේ වනවිට බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන්, මිලියන 160 කට මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ එන්නත් ලැබුණු මිලියන 160 දෙනාගෙන් වැඩි පිරිස වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් සහ යුරෝපා රටවල් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ආසියානු රටවල් බොහොමයකට එන්නත් ලැබී ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මධ්‍යම රජය මැදිහත්වීමෙනි. ඉන්දීය අගමැති මෝදිගේ ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන හරහා ආසියානු රටවලට ප්‍රදානය කෙරුණේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාද සමාගමේ නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නතය.

බ්‍රසීලයට ද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් ලබා දීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. බ්‍රසීලයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ ඉහළ යමින් පවතින්නේ, එරට වැසියන් ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් ලබා දීම සිදුවෙද්දීය. බ්‍රසීලයට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ස්තුති කර තිබේ.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS