පැරිස් සම්මුතිය සමඟ එක්වන්න ට්‍රම්ප් සූදානම්



සංශෝධන කිහිපයක් සිදු කරන්නේ නම්, කලගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට තමන් යළි ඇමෙරිකාව එක් කරනවා යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට පවසා ඇත.

ඇමෙරිකා ජනපතිවරයා සහ ප්‍රංශ ජනපතිවරයා අතර විශේෂ හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ජගත් ආර්ථික සමුළුවේ දී පැවැත්විණි. ට්‍රම්ප් මේ බව මැක්රොන්ට දැන්වූයේ එම අවස්ථාවේදී යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ජනපතිවරුන් දෙදෙනා අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම අවම කිරීමේ උදාර අරමුණකින් පැරිස් සම්මුතිය පැරිසියේ දී අත්සන් තැබුණේ 2015 වසරේදීය. එවකට ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. සම්මුතිය සම්බන්ධයෙන් ඔබාමා කැපී පෙනෙන මෙහෙවරක් කළේය.

ඔබාමා යටතේ ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් 2015 වසරේ දී පැරිස් නුවරදී එකඟත්වයක් ඇති කර ගත්තේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමටය. ඉදිරියේ දී එය සෙල්සියස් අංශක 1.5 ටත් අඩුකර ගැනීමට එහිදී එකඟත්වය පළ කෙරුණි.

ඔබාමාගෙන් පසු රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ ‘ඇමෙරිකාවට මුල්තැන’ සංකල්පය හරහාය. එහිදී ට්‍රම්ප් පෙන්වා දුන්නේ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාවේ කර්මාන්තශාලාවට ලොකු අසාධාරණයක් සිදුවී ඇති බවත් රැකියා මිලියන ගණනක් අනතුරේ දමා ඇති බවත්ය. ඇමෙරිකාව සම්මුතියෙන් ඉවත් කර ගන්නවා යැයි ට්‍රම්ප් පැවැසුවේ ඒ නිසාය.
පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය ලොව කාගේත් විරෝධයට හේතුවක් විය.

එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කියා සිටියේ තමන් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වුණු බවය. ශුද්ධෝත්තම පාප්තුමන් පවා ට්‍රම්ප්ගේ තීරනය සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වුනු බව වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS