පැය 24 ඇතුළත 507 ක් මියගිහින්



ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් ගණන 507 ක් දක්වා ඉහළ ගිය බව ඉන්දීය මාධ්‍ය ඊයේ (1) වාර්තා කළේය.

ඒ අනුව, ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 17,400 කි. ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 5,85493 කි. ගතවුණු පැය 24 තුළ වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 18,653 කි.
ආසියානු රටවලින් වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වෙමින් පවතින්නේ ඉන්දියාවෙනි. ‘කොවිඞ් 19’ ආසාදිතයන් වැඩිම රටවල් 10 අතර ඉන්දියාව සිටී. ඒ, සිවුවැනි ස්ථානයේ ය.

පසුගිය පළමු වැනිදා වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 5,85,792 ක් විය. මරණ වාර්තා වූයේ 17,410 ක් ලෙසිනි. නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි වයිරස ආසාදිතයන් සහ මරණ ඉහවහා ගිය ඉන්දීය නගර ලෙස සැලකෙයි.

‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් පමණක් වෙන් කළ ලොව විශාලතම රෝහල පසුගිය දා ඉන්දියාවේ විවෘත කෙරුණි. රෝහලේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් නැත. විවෘත කෙරුණේ ඉදිකිරීම් අවසක් කළ කොටස පමණි. 

‘කොවිඞ් 19’ ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර කළ මෙම රෝහල නම් කර ඇත්තේ ‘සර්දාර් පාටෙල්’ කොවිඞ් රැකවරණ මධ්‍යස්ථානය යන නමිනි. ‘සර්දාර් පාටෙල්’ කොවිඞ් රැකවරණ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ දිල්ලියේ චත්‍රපූර් පළාතේ ය.

විවෘත කරන ලද රෝහල් කොටසේ ඇඳන් 2,000 ක් ඇති බව දිල්ලි ප්‍රාන්ත රජය කියයි. ඉදි කිරීමට නියමිත කොටසේ ඇති ඇඳන් ගණන 8,000 කි. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා මෙන්ම දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ගේ ප්‍රධානත්වයෙන් රෝහල විවෘත වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මීට අමතරව, ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම වන ‘භාරත් බයෝටෙක්’ මැදිහත් වී සිටී. ‘භාරත් බයෝටෙක්’ ආයතනය ද මේ වනවිට එන්නතක්  නිර්මාණය කර ඇති අතර, එය මීයන්, වදුරන් යොදා ගනිමින් සාර්ථකව අත් හදා බලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එය තෝරා ගත් ‘කොවිඞ් 19’ ආසාදිතයන් පිරිසකට ලබා දීමට ඉන්දීය වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වුණු බව ද පැවැසෙයි. ‘කොවැක්සින්’ යනුවෙන් නම් කළ මෙම එන්නත ඒ අනුව අත්හදා බැලුණි. එහි සාර්ථකත්වය දැන ගැනීමට තව මාස කිහිපයක් ගත වනු ඇතැයි හයිද්‍රාබාද් නුවර පිහිටි ‘භාරත් බයෝටෙක්’ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS