ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න - ඔබාමා



ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති මෙන්ම, එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා ද වූ බැරැක් ඔබාමා බදාදා (11) අවසන්වරට ජාතිය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරන්නැයි පැවැසීය.

ඔබාමා තම අවසන් ජන හමුව සඳහා තෝරා ගෙන තිබුණේ ඔහුගේ දේශපාලන දිවිය වෙනස් කළ චිකාගෝ නගරයයි. ඔබාමා 2008 වසරේ ජනාධිපති වීමට ඡන්ද සටන ආරම්භ කළේ ද චිකාගෝ නුවර ජන රැළියක් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නිරතුරුව සටන් කරන්නැයි ද අවසන් වරට ජාතිය අමතමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සියලු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

“සෑම අතින්ම ඇමෙරිකාව අද යහපත් තැනක් බවට පත්වෙලා. මීට වසර අටකට පෙර ඇමෙරිකාව තිබුණාට වඩා ශක්තිමත් තැනකට අද ඇමෙරිකාව ඇවිත් තිබෙනවා” දහස් ගණනක් ආධාරකරුවන් අමතමින් ඇමෙරිකා ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේය. 

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වුවහොත් එය තර්ජනයට ලක්වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුයි” යැයි ජනාධිපති ඔබාමා කීය. 

රටේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමා 2008 වසරේදී ජනාධිපතිධුරයට පත්වූයේ බලාපොරොත්තුවක් සහ වෙනසක් යන්න සිය සටන් පාඨය කරගනිමිනි. 

බැරැක් ඔබාමාගේ පසු ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් ඔබාමා විසින් ක්‍රියාවට නැංවූ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් අවලංගු කිරීමට සූදානමින් සිටියි. 

ට්‍රම්ප් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වන බව කී විට රැස්ව සිටි පිරිස එපා යනුවෙන් කෑ ගැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරුන් අතර සාමකාමී ලෙස බලය හුවමාරු වීම ඇමෙරිකා ප්‍රජාතන්ත්‍රවාදයේ මුද්‍රාවක් යැයි ද එම අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේය. 

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාය හමුවේ මේ වන විට තර්ජන තුනක් පවතින බව ද ඔහු එහිදි කීවේය. ආර්ථික අසමානාත්මතාව, වාර්ගික බෙදීම් සහ සමාජයේ විවිධ කොටස්වලට වෙන් කොට සැලැසීමේ තර්ජනයක් ඇමෙරිකාව හමුවේ ඇතැයි ඔහු කීය. 

අන්තර්ජාලයේ අමුත්තන් හා වාද විවාද කර වෙහෙසයි නම් සත්‍ය ජීවිතයේ එක් අයකු සමඟ හෝ කතා කරන්නැයි ද සියලු දෙනා සිනහා ගස්වමින් ඔබාමා පැවැසීය. 

සිය අවසන් ජාතිය ඇමතීමේ අවස්ථාව අවසන් කරමින් වෙනසක් කිරීමට මා තුළ ඇති ශක්තිය හා හැකියාව කෙරෙහි නොව, වෙනසක් කිරීමට ඔබ සතුව ඇති ශක්තිය හා හැකියාව කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ඔබාමා රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලීය. 

 

චිකාගෝහිදීය (රොයිටර්)

 


RECOMMEND POSTS