පදේට නටන්න සූදානම් නෑ



ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමත් සමඟ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් ඔවුන්ගේ පදේට නටන්න සූදානම් නැති බවය.

තමන්ට එරෙහිව ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එක් වී නීතිමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට එරෙහිව සටන් වැදීමට තමන් පසුබට නොවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

පසුගිය වසර කිහිපය පුරාවට ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් මණ්ඩලයේත් බහුතර බලය හිමිකරගෙන සිටියේ රිපබ්ලිකන් පක්ෂයයි. මෙවර මධ්‍යවාර මැතිවරණයේ දී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය රිපබ්ලිකන්වරුන්ට අහිමි විය. බලය තහවුරු කර ගැනීමට ඩිමොක්‍රටික්වරු සමත් වූහ.

ඒ අනුව, පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහාය ලබා ගැනීම ජනපති ට්‍රම්ප්ට අභියෝගයක් වනු ඇත. කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ශක්තිමත් ලෙස රඳවා ගැනීමට රිපබ්ලිකන්වරු සමත් වුහ.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් නැන්සි පෙලෝසී ජනාධිපති ට්‍රම්ප් හමුවී පවසා ඇත්තේ ද ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. 

මධ්‍යවාර මැතිවරණය ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහා පැවැත්විණි. ඒ, ට්‍රම්ප්ගේ ධුර කාලයේ පළමු වසර දෙක  අවසානයේදීය. මැතිවරණයට පෙර සිට අනාවැකි පළ වූයේ ද ඩිමොක්‍රටික්වරුන්ට වැඩි බලයක් හිමිවනු ඇති බවය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට හිමිවී ඇති හෙයින්, ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයට හිතුමතේ පනත් සම්මත කර ගැනීම කළ නොහැකි බවත් ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්  නඩු විභාග පැවැත්වීමත් බාධාවකින් තොරව සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ 2016 දීය. රුසියාවේ අනුදැනුම මත, පරිගණක හැකර්වරුන් මැදිහත් වී, මැතිවරණයේ ප්‍රතිපල වෙනස් කළ බවටත්, එසේ ප්‍රතිපල වෙනස් කළ නිසා ට්‍රම්ප්ට ජනාධිපති ධුරයට පත් වීමට හැකිවුණු බවටත් චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකා ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ චෝදනා එම ඔප්පු කර තිබේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන්, ට්‍රම්ප්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රමාද වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂය සතු වීමය. එපමණක් නොව, ට්‍රම්ප්ට බදු වංචා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකන් දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු බාධාවකින් තොරව දැන් පරීක්ෂණ ආරම්භ කළ හැකි බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS