නෙරපා දැමූ රුසියානු තානාපති නිලධාරීහු ඇමෙරිකාවෙන් පිටවෙති



මොස්කව්/වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකාවේ රැඳී සිටිමින්, ඇමෙරිකාවට එරෙහිව රුසියාව වෙනුවෙන් ඔත්තු  බැලුවැයි චෝදනා ලැබූ රුසියානු තානාපති නිලධාරීහු 35 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය ඊයේ (2) ඇමෙරිකාවෙන් පිටව ගියහ.

නෙරපා දැමුණු එම තානාපති නිලධාරීන් 35 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ඇතුළු 96 දෙනා ආපසු රුසියාවට ගියේ විශේෂ ගුවන් යානයකිනි. පිරිස ආපසු රුසියාවට ගෙන්වා ගැනීමට එම විශේෂ ගුවන් යානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඇමෙරිකාවට යවන ලදී.

ඔත්තු බැලුවේ යැයි චෝදනා එල්ල කරමින් ඔබාමා පරිපාලනය මෙසේ රුසියන් තානාපති නිලධාරීන් රටින් නෙරපා දැමීමටත්, රුසියාවට නව සම්බාධක පැනැවීමටත් කටයුතු කළේ පසුගිය සිකුරාදා දිනයේය. රටින් පිටවී යෑමට එම නිලධාරීන්ට පැය 72 ක කාලයක් හිමිවිය.

ඔබාමා පරිපාලනය මෙසේ තානාපති නිලධාරීන්ට ඔත්තු බැලුවේ යැයි චෝදනා එල්ල කළේ, පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධ සිදුවීමක් මුල්කොට ගනිමිනි.  

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී කවුරුත් මවිතයට පත් කරමින් ජයග්‍රහණය කළේ ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ හිලරි ක්ලින්ටන් නොව, ප්‍රතිවාදී අපේක්ෂක රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

රුසියන් රජයේ අනුදැනුම මත, එරට පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බවත්, එය ට්‍රම්ප්ට ජයග්‍රහණය කරා යෑමට හේතුවක් වුණු බවත් ඔබාමා පරිපාලනය චෝදනා කර තිබේ. එල්ල වී ඇති එම චෝදනා පදනම් විරහිත බව රුසියාව කියා සිටී.


RECOMMEND POSTS