නව වයිරස ප්‍රභේදය ගැන බොරු කලබලයක් ඕනෑ නෑ



එංගලන්තයෙන් මතුවුණු ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් බොරුවට කලබලවීමක් අවශ්‍ය නොවන බවත්, නව ප්‍රභේදය සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරි දින කීපයේ දී දැන ගැනීමට හැකිවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ කියා සිටියේ, එම සංවිධානයේ හදිසි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන්ය.

‘විකෘතිකරණයට ලක්වුණු මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයෙන් වෙනස් වන්නේ මෙය සම්ප්‍රෂේපණය වීම වේගවත් නිසයි. සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයට වඩා සියයට 70 ක වේගයකින් මෙය පැතිරෙනවා. වෙනසකට ඇත්තේ එපමණයි. මෙම වයිරස ප්‍රභේදය පාලනය කර ගැනීමට ඒ අනුව හැකියාවක් පවතිනවා.’ යැයි වෛද්‍ය මයික් රයන් පවසා තිබේ.

‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති වූ නව වයිරස ප්‍රභේදය පැතිරීම ආරම්භ කර ඇත්තේ එංගලන්තයේ නිරිත දෙසිනි. මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානියට එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය අයත් වන අතර, මේ වනවිට නව ප්‍රභේදය හමුවී නැත්තේ උතුරු අයර්ලන්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතරින් පමණි.

නව වයිරස ප්‍රභේදය ආසාදනය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේය. මේ වනවිට, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 35,928 දෙනකු මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබුණි. මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 70 ගුණයකින් වැඩි බව තහවුරු වී තිබේ. පසුගිය දින 28 ඇතුළත, මෙම නව ප්‍රභේදය හේතුවෙන් පමණක් මියගිය එංගලන්ත වැසියන් ගණන 326 ක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමති) මැට් හැන්කොක් නිකුත් කළ නිවේදනයක දැක්විණි. මෙම නව ප්‍රභේදය තම සෞඛ්‍ය අංශ පාලනයෙන් ගිලිහි ගොස් ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා එම අවස්ථාවේදී බිය පළ කළේය.

 

(රොයිටර්)


RECOMMEND POSTS