නව ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකානු කාන්තාවෝ වීදි බසිති



දිවුරුම්දීමෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස සිය රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ, ඇමෙරිකානු කාන්තා සුරැකීමේ සංවිධාන රැසක සාමාජිකාවෝ වොෂින්ටන් අගනුවරට රොක්වෙමින් ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූහ.

විරෝධතා රැලියේ සංවිධායකවරුන් කියා සිටියේ 50,000 කට වැඩි ඇමෙරිකන් කාන්තාවන් පිරිසක් රැලියට එක්වුණු බවය. විරෝධතා රැලිය පැවැත්වූයේ ඩොනල්ඞ් ට්‍රම්ප් කාන්තාවන් ගැන හෝ කාන්තා අයිතිවාසිකම් ගැන හෝ කිසිදු තැකීමක් නොකරන පුද්ගලයකු බවත් එවැනි පුද්ගලයන් ඇමෙරිකාවේ මුල්පුටුවට නොසුදුසු බවත් කියමිනි.

ඇමෙරිකාවේ සුපිරි පොප් ගායිකාවන් වන මැඩෝනා සහ ෂෙයා පමණක් නොව ජනප්‍රිය හොලිවුඞ් නිළි ස්කාලට් ජොහැන්සන්, ඈෂ්ලි ජජ් සහ ජනප්‍රිය යොවුන් නිළි එමා වොට්සන් ද ඒ අතර සිටියහ. එමා වොට්සන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නීය. 

මැඩෝනා වේදිකාවට නැග කතාවක් පැවැත්වූවා පමණක් නොව, ගීත ගායනා කරමින් රැස්ව සිටි පිරිස කුල්මත් කළාය. ඉන්පසු විරෝධතාවට එක්වුණු කතුන් අමතමින් කතාවක් පැවැත්වූ මැඩෝනා කියා සිටියේ ධවල මන්දිරය පුපුරුවා හරින්න තමන්ට සිතක් පහළ වී ඇති බවය. 

ඇගේ මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක වූ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක සේවය හෙවත් ‘සීක්‍රට් සර්විස්’ සහ එෆ්.බී.අයි. කාර්යංශය මැඩෝනාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

කාන්තා අයිතිවාසිකම් ගැන හෝ ට්‍රම්ප් කිසිදු තැකීමක් නොකරන බවට චෝදනා කරමින් වොෂින්ටන් අගනුවර පමණක් නොව, නිව්යෝක්, මියාමි, බොස්ටන් සියැටල් යන නගරවලත් විරෝධතා රැලි පැවැත්විණි. ඇමෙරිකන් ඉතිහාසයේ මීට පෙර කිසිදු ජනපතිවරයකුට මෙලෙස විරෝධයක් එල්ල වූයේ නැතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

(රොයිටර්)

 


RECOMMEND POSTS