නයිජීරියාවේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය වසා දමයි



දකුණු අප්‍රිකාවේ නයිජීරියා ජාතික ව්‍යාපාරිකයන් සහ නයිජීරියාවේ දකුණු අප්‍රිකානු ජාතික ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් සමඟ, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇත.

හටගත් එම අර්බුදය උත්සන්න වීමත් සමඟ දකුණු අප්‍රිකා රජය නයිජීරියාවේ දකුණු අප්‍රිකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව ද වාර්තා වේ. නයිජීරියාවේ අබූජා අගනුවර දක-ණු අප්‍රිකා තානාපති කාර්යාලය පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවල දකුණු අප්‍රිකා තානාපති සේවා සැපයුම් කාර්යාල ද වසා දමන බව නිවේදනය කර ඇත්තේ දකුණු අප්‍රිකා විදේශ ඇමැති නලේඩි පැන්ඩෝර්ය.

මේ අතර නයිජීරියානු රජය දකුණු අප්‍රිකාවේ නයිජීරියා වැසියන්ට දන්වා ඇත්තේ වහා ආපසු නයිජීරියාව බලා පැමිණෙන ලෙසය.

දකුණු අප්‍රිකාවේ නයිජීරියා වැසියන්ට යළි නයිජීරියාව බලා පැමිණීමට විශේෂ ගුවන් යානා යොදවා ඇති බවත්, නොමිලේම එම ගුවන් යානාවලින් ඔවුන්ට මවු රටට පැමිණිය හැකි බවත්, නයිජීරියා විදේශ කටයුතු අමත්‍යාංශය දන්වා ඇත. මේ සඳහා නයිජීරියාවේ ‘එයාර් පීස්’ ගුවන් සේවය එක් කර ගන්නා බව දනයිජීරියා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර නයිජීරියා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන්, එම නයිජීරියානු වැසියන්ට යළි නයිජීරියාව බලා නොමිලේ පැමිණෙන්න අවස්ථාව ලබා දී ඇති බවත් එම අවස්ථාව මඟ හරවා ගැනීමෙන් වළකින ලෙසත් නයිජීරියා විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දෙරට අතර අර්බුදය පළමුවෙන් ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවේ ජොහහැන්නස්බර්ග් නුවර නයිජීරියා ව්‍යාපාරිකයන් සහ වෙළෙඳසැල් හිමියන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරයයි. ජොහැන්නස්බර්ග් නුවර නයිජීරියානුවන්ට අයත් වෙළෙඳසැල්වලට පහර දී ගිනි තැබීමට කලහකාරීව වැසිරුණු පිරිස් කටයුතු කළහ.

ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු දකුණු අප්‍රිකානුවන් පවසා ඇත්තේ, විදේශිකයන් (නයිජීරියානුවන්) තමන්ගේ රැකියා සහ ව්‍යාපාර උදුරා ගන්නා බවත් තමන් ඊට විරෝධය දක්වන බවත්ය. මේ අතර දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා එරට හටගත් ගැටුම් හෙලා දැක ඇති බවත්, දකුණු අප්‍රිකාවේ නයිජීරියා වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත් පවසා ඇත.

මේ අතර නයිජීරියානුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරයට එකටඑක කිරීමක් ලෙස අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ලුමුම්බාෂී නුවර දකුණු අප්‍රිකා කොන්සල් කාර්යාලයට කලහකාරී පිරිසක් පහර දී ඇත. එම ප්‍රහාරයෙන් පසු දකුණු අප්‍රිකා කොන්සල් කාර්යාලය වසා දැමීමට පියවර ගත් බව ද වාර්තා වේ.

ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS