දිල්ලි විරෝධතාකරුවන්ට වෙඩි



ඉන්දීය රජය හඳුන්වා දුන් නව පුරවැසි පනතට විරෝධය දක්වමින්, නවදිල්ලි අගනුවර ඊයේ (31) පැවැති විරෝධතා රැලියකට කඩා වැදුණු තරුණයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේය.

විරෝධතා රැලිය පැවැත්වූයේ ජමියා මිල්ලියා ඉස්ලාමියා නමැති මුස්ලිම් විශ්ව විද්‍යාලය ඉදිරිපිටය. ඊට සහභාගී වූ බොහෝ දෙනා මුස්ලිම් සිසු සිසුවියන් යැයි පැවැසෙයි.

කුඩා පිස්තෝලයක් අතැති 17 හැවිරිදි එම තරුණයා විරෝධතාකරුවන් අභියසට ගොස් වෙඩි තැබුවේ, ‘දිල්ලි පොලිසියට ජය වේවා. නුඹලට නිදහස දෙන්නැයි මං ආවේ’ යැයි කියමිනි. තරුණයා හින්දු ජාතිකවාදියකු යැයි පොලිසිය පසුව පැවැසීය.

විරෝධතාවට එක්වුණු සිසුන් මර්දනයට දිල්ලි පොලිසිය යොදවා තිබුණු අතර, පිස්තෝලය අතැතිව එතැනට කඩා වැදුණු තරුණයා වහා මෙල්ල කර ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

මෙම සිදුවීම ඉන්දීය රූපවාහිනී නාළිකා ඔස්සේ ද විකාශය විය. වෙඩි තැබීමෙන් විරෝධතාවට එක්වුණු සිසුන් දෙදෙනක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. තරුණයා අත්අඩංගුවට ගත් බවත්, සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS