තායිලන්ත අගමැති මැතිවරණ කටයුතු අරඹයි



තායිලන්ත මහ මැතිවරණය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, අගමැති ධුරයේ කටයුතු කරන හිටපු හමුදාපති ප්‍රයාත් චාන් ඕචා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

තායිලන්තයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයකින්, හමුදාපති ලෙස කටයුතු කළ ප්‍රයාත් චාන් ඕචා, බලයට පත් වූයේ 2014 වසරේදීය. අගමැති ධුරයට පත් වීමෙන් පසු ප්‍රයාත් චාන් ඕචා හමුදාපති ධුරය අත්හැර සිවිල් අගමැතිවරයකු ලෙස රාජකාරි ඇරැඹීය.

දේශපාලනික මත ගැටුම් හේතුවෙන් දේශපාලන අර්බුද රැසකට මුහුණ දුන් තායිලන්තයේ සාමය ස්ථාපිත කිරීමට තමන් දිගටම පියවර ගන්නා බව බැංකොක් අගනුවර ලුම්පිනි උද්‍යානයේ පැවැති ජන රැළිය අමතමින් කියා සිටියේය. හමුදාපති ලෙස ප්‍රයාත් චාන් ඕචා රටේ බලය අල්ලා ගැනීමට පියවර ගත්තේ ද මෙම දේශපාලනික මත ගැටුම් හේතුවෙනි.

ලබන 24 වැනිදා තායිලන්ත මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 500 වෙනුවෙනි. බහුතර බලය සඳහා ආසන 251 ක් දිනා ගැනීම කළ යුතුය.

වත්මන් අගමැති ප්‍රයාත් චාන් ඕචා මැතිවරණයට ඉදිරිපත් වන්නේ, තයිලන්ත හමුදාවට සහාය දක්වන අභිනවයෙන් පිහිටුවා ගත් ‘පලාංග් පරචරාත්’ නමැති ස්වාධීන පක්ෂයෙනි. මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ ‘පූ තායි’ සහ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයයි. ‘පූ තායි’ පක්ෂයේ අපේක්ෂිකාව සුදරාත් කෙයිකුරප්පාන්ය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා වන්නේ අභිසිත් වෙජ්ජජීවාය.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS