ට්‍රම්ප්ට එරෙහිව වුණු මිට් රොම්නි



ජනාධිපතිවරයාට හිමි බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා යටතේ ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් ජය ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය.

දෝෂාභියෝගයෙන් ජයගැනීමත් සමඟ කිසිදු බාධාවකින් තොරව මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකියාව ලැබේ.

දෝෂාභියෝගයකට මුහුණ පෑමට සිදුවූ තුන්වැනි ඇමරිකානු ජනාධිතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප්ය. මීට ඉහතදී 1868දී ජනාධිපති ඇන්ඩිරූ ජොන්සන්ට එරෙහිවත් 1999දී ජනාධිපති බිල් ක්ලිටන්ටන්ට එරෙහිවත් දෝෂාභියෝග ඉදිරිපත් වූ  නමුත් ඒ අවස්ථා දෙකේදීම ඒවා සෙනට් මන්ත්‍රී මණ්ඩලයේදීම පරාජයට පත්විය.

හිටපු ජනාධිපතිවරයකු වන රිචඞ් නික්සන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් එය විභාගයට ගැනීමට කලින් ඔහු ඉල්ලා අස්විය.

රිපබ්ලිකන් පක්ෂයේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන මිට් රොම්නි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම් දෙකක් පැවැත්වුණු අතර එහිදි බලය අවභාවිත කිරීමේ චෝදනාවට පක්ෂව මිට් රොම්නි ඡන්දය දුන්නේය. එහෙත් අනෙක් චෝදනාවට ඔහු විරුද්ධ විය.

තමන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බලය අවභාවිත කළා යැයි කියන්නේ ඇයිද යන්න සහ තමන් එම චෝදනාවට පක්ෂව ඡන්දය දෙන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මිට් රොම්නි සෙනෙට් සභාවේදී කරුණු පැහැදිලි කිරීමක් ද කළේය.

මිට් රොම්නි රිපබ්ලිකන් පක්ෂයේ සිටින මධ්‍යස්ථ මතධාරියකු ලෙස ප්‍රකටය. රිපබ්ලිකන් පක්ෂයේ මධ්‍යස්ථ මතධාරීන් ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය අපේක්ෂා කළ ද එයි සිදු නොවිණි. රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයේ ඇතැම් අය ජනාධිපති ට්‍රම්ප්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටියද එම ඒවා බිඳ වැටිණි.

මිට් රොම්නි ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීමත් සමඟ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු වරට පක්ෂ දෙකේම සෙනෙට් සභිකයන් ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සෙනෙට් සභිකයන් පසුගිය කාලයේදී ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය විවේචනය කළත් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් වුවමනා නැතැයි ඔවුහු කියා සිටියහ. 

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS