ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රංශ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයත් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි කාර්යාලයට ලැබුණු ලියුම් කවරයක බහාලූ බෝම්බයක් පුපුරා යෑමෙන් එහි නිලධාරීහු දෙදෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබුවේ ලියුම් කවරය විවිර කළ නිලධාරියා ඔහු අසල සිටි තවත් නිලධාරියෙකු යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි. එක් නිලධාරියකුගේ අත්වලටත් අනෙක් නිලධාරියාගේ මුහුණටත් තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මොවුන් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කර තිබේ.

බෝම්බය පුපුරා යද්දී මහත් කලබලයක් ද හට ගත්තේය. බෝම්බය පිපිරීමත් සමඟ කාර්යාලය හිස් කිරීමට එහි ආරක්ෂක නිලධාරීන් වහා කටයුතු කළේය. ඉන්පසු පැරිස් බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් වහා පැමිණ මුළු කාර්යාලයම දැඩි ලෙස සෝදිසි කිරීමට ද ලක් කළ බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලගාද් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් කියා සිටියේ එම බියගුළු ක්‍රියාවක් බවය. බෝම්බ ලියුම්කවරය එවූ පුද්ගලයන් සොයා කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ප්‍රංශ පොලිසිය පවසයි.
එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ප්‍රංශ රජය පවසා ඇත. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැතැයි ද ප්‍රංශ පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර සිටී.

(රොයිටර්)

 


RECOMMEND POSTS