ජපානයට පැමිණෙන සිසුන්ගේ වීසා නීති දැඩි වේ !



ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ.

මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, නේපාලය, චීනය, වියට්නාමය හා බුරුමය යන රටවල සිසුන් වෙත මෙම නියාමනයන් බලපානු ඇත.

මෙහිදී වීසා අයදුම් කිරීමේ දී සිය මූල්‍ය ශක්‍යතාවය තහවුරු කිරීම පිණිස වැඩි සාක්ෂ්‍ය ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අදාළ රටවල සිසුන් හට සිදුවේ. එහිදී සිය බැංකු ගිණුම්වල හර බැර වාර්තා පෙරට වඩා දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන බව ජපානයේ ආගමන කාර්යාංශය සඳහන් කර සිටී.

මේ වන විට ඉහත සඳහන් රටවල්වලට අමතරව මොංගෝලියාව හා බංග්ලාදේශය යන රටවල සිසුන් හට ද ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීමේ නියාමනයන් දැනටමත් තර කර තිබේ.

2015 වසරේ දී ජපානයේ භාෂා විද්‍යාලවල 56,317 ක විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවට සංඛ්‍යාලේඛන තහවුරු කර ඇති අතර එයින් 1,112 ක් ශ්‍රී ලාංකීය සිසුන් ලෙසින් වාර්තා වේ.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි 

 


RECOMMEND POSTS