චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා



එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මැලේසියා පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ට වද හිංසා පමුනුවා ඇති බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එරට පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇතැයි එරට පළවන ‘‘මැලේ මේල් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.

එවැනි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ වගකීම් විරහිත බවද  මැලේසියා පොලිස්පති ටැන් ශ්‍රී අබ්දුල් හමීඩ් බාදෝර් මහතා පෙන්වා දී ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට ආධාර අනුබල දීමේ චෝදනාව මත එරට සිටින දේශපාලනඥයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබනු ලැබුවේය.

රැදවුම් කාලය තුළ දී එම සැකකරුවන්ගෙන් පස් දෙනෙකු අතවරයට ලක්කොට වද හිංසා පමුණුවා ඇති බවට මැලේසියා මාධ්‍යවල අනාවරණය කර තිබුණි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන්  ප්‍රකාශයක් සිදුකරමින් මැලේසියාවේ පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ එවැනි චෝදනාවක් සිදුකරන ඕනෑම පුද්ගලයෙකුට එය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බවයි.

සැකකරුවන් රඳවා සිටින සෑම කුටියකම සි.සි.ටි.වී. කැමරා සවි කර ඇති බැවින් එවැනි අතරවරයක්, තර්ජනයක් හෝ වද හිංසාවක් සිදුව ඇත්නම් එය අදාළ කැමරාවල සටහන්ව තිබිය යුතු බව මැලේසියා පොලිස්පති කියා සිටී.

මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටැන් ශ්‍රී මුහයිදීන් යසීන් ද අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS