කොරියා ජනාධිපති පුටින් හමුවෙයි



රුසියාවේ මොස්කව් නුවර නිල සංචාරයක් සඳහා පැමිණි දකුණු කොරියා නායක මූන් ජේ ඉන් උණුසුම් ලෙස පිළිගැනීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, රුසියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

ක්‍රෙම්ලීනයේ දී හමුවී, සාකච්ඡා පවත්වා, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, උතුරු කොරියාව සහ දකුණු කොරියාව හවුල් කර ගනිමින්, ආර්ථික සමුළුවක් පැවැත්වීමට තමන් කැමැති බව රුසියානු ජනාධිපති පුටින් පැවැසූ බව වාර්තා වේ.

දකුණු කොරියා ජනපතිවරයාගේ කැමැත්ත ඊට හිමිවිය. රුසියා ජනාධිපතිවරයා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ද රුසියාවට පැමිණෙන ලෙස ඇරැයුම් කර තිබේ. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණයටත්, සාමයටත් කැමැත්ත පළ කර ඇති නිසාය.

රුසියාවට පැමිණෙන්නැයි පුටින්, උතුරු කොරියා නායකයාට ඇරැයුම් කළේ, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හරහාය. ලැව්රෝව් මීට සති කිහිපයකට පෙර (ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර හමුවට පෙර) උතුරු කොරියාවේ සංචාරය කළේය.
රුසියා ජනාධිපති පුටින් සූදානම් වන්නේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව පමණක් නොව චීනය ද හවුල් කර ගනිමින්, වෙළෙඳ සහ ආර්ථික කටයුතු ගොඩ නැගීමටය.

ලබන සැප්තැම්බර් 11 වැනිදා, ‘කොරියානු ආර්ථික සමුළුව’ යන නමින් සමුළුව පැවැත්වීමට පුටින් සහ මූන් ජේ ඉන් කැමැත්ත පළ කළහ. මේ පිළිබඳව පුටින්, උතුරු කොරියා නායකයාට ද  දැනුම් දී ඇත. උතුරු කොරියාවේ සමීපතම මිතුරා වන චීනය නියෝජනය කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් ද සමුළුවට එක්වීම නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS