ක්ෂමා සංවිධානය ඉවත් වෙයි



ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනය කළේය.

ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යමින් සිටින බවත් ආණ්ඩුව එවැනි සංවිධානවලට එරෙහිව පියවර ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය චෝදනා කළේය.

රාජ්‍ය නොවන සංවිධාන කාලයක් තිස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී පරිපාලනයෙන් බැට කන බවත් වදහිංසාවලට ලක්වන බවත් එම සංවිධානය පෙන්වාදෙයි. ඉන්දීය පරිපාලනයට අයත් කාශ්මීරයේ සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන මානව හිමිකම් උල්ලංඝණය කිරීම ඇතුළු අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම හා ඒවා පෙන්වාදීම ඊට හේතුව යැයි ද එම සංවිධාන සඳහන් කළේය.

ඉන්දීය රජය සිය බැංකු ගිණුම් රාජසන්තක කර ඇති බව දැනගන්නට ලැබුණේ සැප්තැම්බර් 10 වැනිදා බවත් ඒ හේතුවෙන් සිය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙතෙක් කරගෙන පැමිණි සියලු ප්‍රචාරණ සහ පර්යේෂණ කටයුතු සියල්ල නැවැත්වීමට සිදුව ඇති බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේය.

‘‘ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යනවා. එම සංවිධානවලට ඔප්පු නොකළ සහ අසත්‍ය චෝදනා එල්ල කරනවා. එහි අලුත්ම ගොදුර තමයි මෙය’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘මානව හිමිකම් ආරක්ෂා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අපරාධ සංවිධාන ලෙස සැලකීමත් කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම ඉන්දියාව තුළ බිය නිර්මාණය කිරීමට ගන්න උත්සාහයක්. ඒ වගේම විවේචකයන් නිහඬ කරන්න ගන්න උත්සහායක්’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ අවිනාශ් කුමාර් පැවැසීය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS