කවුන්සිලයෙන් ඉවත්වෙන්න යයි



ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ඊයේ (19) සඳහන් කළේය.

ජීනිවා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් සඳහන් කළ අතර එසේ නොකළහොත් ඉන් ඉවත් වන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අතර පසුගිය සතියේදී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීම් සපුරාලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් අසමත් වී තිබෙන අතර ඒ හේතුවෙන් අදාළ සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වනු ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 

ට්‍රම්ප් පරිපාලනය ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංවිධාන අතර අර්බුද ඇතිවිය. ඇමෙරිකා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළ අතර විවිධ කරුණු සම්බන්ධයෙන් එම සංවිධානයට බරපතළ චෝදනා ද එල්ල කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේදී දරුවන් මාපියන්ගෙන් වෙන් වීම ද ඉකුත් දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ විවේචනයට ලක්විය.

මීට පෙර ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වසර තුනක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වර්ජනය කළේය. ඇමෙරිකාව නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්වූයේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලයේදීය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS