උතුරු කොරියාව ගැන මම බලා ගන්නම්: ට්‍රම්ප් කියයි



උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් චීනය මැදිහත්වීමක් නොකරන්නේ නම්, තමන්ට ඒ ගැන මැදිහත් වීමට සිදුවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මිසයිල අත්හදා බැලීම් ලොවට තර්ජනයක් බව චීනය ද පිළිගෙන ඇත.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වන අවස්ථාවේදී කියා සිටියේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා කර, උතුරු කොරියාව සමඟ පවතින අර්බුදයට විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා බවය. එම අවස්ථාවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවා ඊට කැමැත්ත පළ කළ බව වාර්තා විය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසු, උතුරු කොරියාව අවස්ථා තුනකදී දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවේය. තම බැලැස්ටික මිසයිලවලට ඕනෑම ආකාරයක න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි යැයි උතුරු කොරියානු හමුදාව පවසා ඇත.

ඊට අමතරව උතුරු කොරියාව ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන පියවර කිහිපයක් ඉදිරියට රැගෙන යමින්, රොකට් ඇන්ජින් ද අත්හදා බැලුවේය.

න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් උතුරු කොරියාවට සම්බාධක රැසක් පනවා ඇත. උතුරු කොරියාව ඔවුන්ගේ මිතුරකු ලෙස සලකන්නේ අසල්වැසි චීනයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS