උතුරු කොරියා ප්‍රධානියා දකුණු කොරියාවේ



සීත ඔලිම්පික් උලෙළ ලබන 9 වැනිදා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත අතර, උලෙළ සමාරම්භක අවස්ථාවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝජනය කරමින්, ‘නියෝජිත නායකයා’ ලෙස කිම් ජොන් නාම් දකුණු කොරියාවට පැමිණ සිටී.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝජනය කරමින් ‘නියෝජිත නායක’ කිම් ජොන් නාම් දකුණු කොරියාවට පැමිණීම ඓතිහාසික සිදුවීමක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

90 හැවිරිදි කිම් ජොන් නාම් යනු නායක කිම් ජොන් උන්ගේ ඥාතියෙකි. 1998 වසරේ සිට කිම් ජොන් උන්ගේ පියාත්, සීයාත් නියෝජනය කරමින් නියෝජිත නායකයා ලෙස කටයුතු කළේ ද කිම් ජොන් නාම්ය. කිම් ජොන් නාම් උතුරු කොරියා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

කිම් ජොන් නාම් දකුණු කොරියාවට පැමිණෙනු ඇත්තේ උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රිකයන් විසි දෙදෙනකු ද පිරිවරාගෙනය. දින තුනක කාලයක් පිරිස දකුණු කොරියාවේ රැඳී සිටිනු ඇති බවත් ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති බවත් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාවේ තර්ජනවලට ලක් වී සිටින කිම් ජොන් උන් මෙන් නොව, කිම් ජොන් නාම් විදේශ සංචාර රැසක නියැලී ඇත. පසුගිය 2017 වසරේ කිම් ජොන් නාම්, කිම් ජොන් උන් වෙනුවෙන් ඉරානයේ සංචාරයකට ද එක් විය. ඒ, ඉරාන ජනාධිපති හසන් රොව්හානි දෙවැනි වරට ජනපති ධුරයට පත් වීමේ උලෙළට විශේෂ අමුත්තකු ලෙසිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS