ඉන්දීය කැනඩා තරුණියට ඇමෙරිකාව තහනම්



කැනඩා ඇමෙරිකා දේශසීමා හරහා ඇමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ ඉන්දීය සම්භවයක් සහිත කැනඩා තරුණියකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නව සංක්‍රමණික නීති හරස් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

39 හැවිරිදි මන්ප්‍රීත් කූනර් නැමැති මෙම තරුණිය පසුගිය සති අන්තයේ කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්ත දේශසීමාව පසුකර වර්මොන් ප්‍රාන්ත හරහා ඇමෙරිකාවට ඇතුළුවීමට පැමිණ ඇත. මැය කැනඩාවේ මොන්ත්‍රියාල් නුවර පදිංචිකාරියකි.

ඇමෙරිකන් දේශසීමා ආරක්ෂක අංශ පැය 6 ක් තිස්සේ ඇය රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇයගේ ඇඟිලි සලකුණු ද ලබා ගෙන ඇත. ඇමෙරිකාවට පැමිණීමට අවශ්‍ය නම් සංක්‍රමණිකයකු ලෙස පැමිණෙන්නැයි එක් නිලධාරියකු තමාට පැවැසූ බව මන්ප්‍රීත් කූනර් පවසා තිබේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින්, මුස්ලිම් රටවලට වැසියන්ට එරෙහිව ලබා දුන් තහනම් නියෝගය සංශෝධන සහිතව යළි ඉදිරිපත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දා කටයුතු කළේය.

එම නව සංශෝධන අනුව, මෙවර තහනම පැනැවෙන්නේ මුස්ලිම් රටවල් 7 කට නොව 6 කට පමණි. ඉරාකය එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. සෙසු රටවල් වන්නේ ඉරානය, සෝමාලියාව, සුඩානය, ලිබියාව, යේමනය සහ සිරියාවය.

ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ සී.අයි.ඒ. බුද්ධි අංශ වාර්තා පාදක කර ගනිමින් සංශෝධන සහිතව එම නියෝගය නිකුත් කළ බව ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී. ඊට අමතරව ඇමෙරිකාවේ සංක්‍රමණිකයන් බාර ගැනීමේ වැඩසටහන් සියල්ල දින 120 ක කාලයක් දක්වා අත්හිටුවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ.

ඔබාමා පරිපාලනය යටතේ ඇමෙරිකාව සංක්‍රමණිකයන් 1,10,000 ක පිරිසක් වාර්ෂිකව ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි ට්‍රම්ප් චෝදනා කරයි. ට්‍රම්ප් පවසා ඇත්තේ මින් ඉදිරියට එම සංඛ්‍යාව 50,000 තෙක් අඩු කිරීමට කටයුතු කරන බවය.

(රොයිටර්)

 

 


RECOMMEND POSTS