ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ අවසන්



ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පුඩුචෙරි යන ප්‍රාන්තවල අදියර කීපයක් යටතේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණ සියල්ල අද (29) අවසන් විය.

අවසානයට පැවැත්වූයේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයයි. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය අදියර 8 ක් යටතේ පැවැත්විණි. ‌බෙංගාල මැතිවරණය ආරම්භ වූයේ පසුගිය මාර්තු 27 වැනිදාය. මැතිවරණ සියල්ලේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන මැයි දෙවැනිදා සිදුවනු ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජයග්‍රහනය සමරමින් ජන රැලි පැවැත්වීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. ඒ, දිනෙන් දින උත්සන්න වන කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමිනි.‍‍‍‍‍‍

කොරෝනා වසංගතය මැද මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් බටහිර බෙංගාල මහ ඇමැනී මම්තා බෙනජ්රි පමණක් නොව, බෙංගාල වැසියන් ද ඉන්දීය මැතිවරණ කොමිසමට සිය විරෝධය පළ කර තිබුණි. අදියර අටකට පැවැති මැතිවරණය අදියර දෙකකින් හෝ තුනකින් අවසන් කරන්නැයි කළ ඉල්ලීමට මැතිවරණ බලධාරීන් කන් නොදුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමිල්නාඩු මැතිවරණය මෙවර පැවැත්වූයේ අදියර දෙකකින් පමණි.

මේ අතර බටහිර බෙංගාලයේ ත්‍රිණමූල් පක්ෂයේ අපේක්ෂකයකු මැතිවරණ කටයුතුවලට සහභාගී වූ බැවින් කොරෝනා වයිරසය ආසාදනය වී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කජාල් සිංහා ය. කජාල් සිංහාගේ බිරිඳ නන්දිතා ඉන්දීය මැතිවරණ කොමිසමට චෝදනා නගා ගත්තේ ඔවුන් නිසි ක්‍රමවේදයකට මැතිවරණ කටයුතු සිදු නොකළ බැවින් තම සැමියා කොරෝනා ආසාදිතයකු වී මියගිය බවය.

තමිල්නාඩුවේ, කේරළයේ සහ පොණ්ඩිචෙරි යන ප්‍රාන්තවල මැතිවරණ මෙවර කඩිනමින් පැවැත්වීම සිදුවුණු බවත්, බටහිර බෙංගාල මැතිවරණය අදියර අටක් යටත් පැවැත්වීමෙන් කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට මැතිවරණ කමිසම කටයුතු කළ බවත් කජාල් සිංහා පෙන්වා දෙයි.

තම සැමියාගේ මරණයට මැතිවරණ කොමිසම වගකිව යුතු යැයි පවසමින් ඇය චෝදනා නගා ඇත්තේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුදීප් ජයින් ට යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS