ඉන්දියාවේ නව ජනාධිපති දිවුරුම් දෙයි



ඉන්දියාවේ 14 වැනි ජනාධිපති ලෙස රාම් නාත් කොවින්ද් අද (25) දහවල් දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම සිදුවූයේ දහවල් 12.15 ට ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. 71 හැවිරිදි රාම් නාත් කොවින්ද් ඉන්දියාවේ කුල හීන දාලිත් නමැති ප්‍රජාව නියෝජනය කරයි.

දාලිත් ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දියාවේ ජනපති ධුරයට පත්වූ දෙවැනියා රාම් නාත් කෝවින්ද්ය. පළමු වැන්නා ජනපති ධුරයට පත් කේ.ආර්. නාරායන්ය.

රාම් නාත් කොවින්ද් නියෝජනය කරන්නේ පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. පසුගිය 17 වැනිදා පැවැති ඉන්දීය ජනපතිවරණයට රාම් නාත් කොවින්ද් නම් කරනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදි විසිනි. රාම් නාත් කොවින්ද් බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අයෙකි.

දිවුරුම් දීමට පෙර රාම් නාත් කෝවින්ද් මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පොපහාර දැක්වීය. ඉන්පසු ඔහු නවදිල්ලියේ රාෂ්ට්‍රපතිභවන්  ජනපති මන්දිරය බලා පැමිණියේය.

එහිදී ධුරයෙන් සමුගන්නා ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජී හමුවූ අතර දෙදෙනා එක් වී, සරසන ලද අශ්ව කරත්තයකින් පාර්ලිමේන්තුව බලා පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය.

පාර්ලිමේන්තුවට පැමිණෙද්දී, රාම් නාත් කෝවින්ද් සහ ධුරයෙන් සමුගන්නා ජනපති ප්‍රණාබ් මුඛර්ජී පිළිගනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ලෝක්සභා කථා නායිකා සුමිත්‍ර මහජාන් සහ උප ජනපති හමීද් අන්සාරි විසිනි.  දිවුරුම් දීම සඳහා රාම් නාත් කෝවින්ද් පාර්ලිමේන්තුවේ මධ්‍යම ශාලාව වෙත ගියේ ඉන් පසුවය.

නව ජනාධිපති ලෙස දිවුරුම්දීම සිදුවූයේ අගවිනිසුරු ජේ එස් කෙහාර් ඉදිරියේය. නව ජනපති වෙනුවෙන් වෙඩි මුරයක් පැවැත්විණි. නව ජනපති ලෙස රාම් නාත් කෝවින්ද් විශේෂ කතාවක් ද පැවැත්වීය.

නව ජනපති ලෙස රාම් නාත් කෝවින්ද් ඉන්පසු ජනපති මන්දිරය බලා ගියේ ධුරයෙන් සමුගත් ප්‍රණාබ් මුඛර්ජී ද සමඟය. ප්‍රණාබ් මුඛර්ජී ජනපති මන්දිරය නව ජනපතිවරයාට බාර දීම සිදුවූයේ මෙම අවස්ථාවේදීය. ඉදිරි පස් වසරක කාලය සඳහා ඉන්දියාවේ ජනපති ධුරය හොබවන්නේ රාම් නාත් කෝවින්ද්ය.

මේ අතර රාම් නාත් කෝවින්ද් ඉන්දියාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දෙද්දී, ධුරයෙන් සමුගන්නා ජනපති ප්‍රණාබ් මුඛර්ජි ගැන අගමැති නරේන්ද්‍ර මෝදි කථා කළේ ඉතා හැඟීම්බරවය. ධුරයෙන් සමුගත් 81 හැවිරිදි ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජී වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

“එතුමන් බොහොම නිහතමානී චරිතයක්. මමත් මගේ රජයත් ගත් තීරණවලට කිසිදු අවස්ථාවක විරෝධයක් පළ කළේ නැහැ. විරුද්ධ වෙලත් නැහැ. එතුමන් සමඟ කටයුතු කරන්න ලැබීම මට ලොකු ගෞරවයක්. ඒ වගේම සතුටක්’ යැයි මාධ්‍ය හමුවේ අගමැති මෝදි කියා සිටියේ ඉතා හැඟීම්බරවය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS