ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුවෙන් හුවාවි සමාගමට සහනයක්



චීනයේ හුවාවි සමාගමට පනවා ඇති වෙළෙඳ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාවේ පෞද්ගලික අංශයේ පමණක් නොව රාජ්‍ය අංශයේ ද ආයතන රැසක භාවිතයට ගැනෙන්නේ හුවාවි විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ සමාගමේ උපාංග වන අතර, එම ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව හුවාවි සමාගමට මෙම සහනය ලබා දී ඇත.

හුවාවි සමාගම ලොව ප්‍රධාන පෙළේ දෘඪාංග මෙන්ම මෘදුකාංග සමාගමකි. හුවාවි සමාගම ඔවුන්ගේ උපාංග සඳහා ඇමෙරිකන් නිෂ්පාදන භාවිතා කරන්නේ ඇමෙරිකන් සමාගම් රැසක් ද සමඟ හවුල් වෙමිනි.

මේ වනවිට හුවාවි සඳහා ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය ලබා දෙන ගූගල් සමාගම හුවාවි සමඟ ඇතිකරගත් ගිවිසුම් අත්හිටුවා ඇති අතර ගූගල් සමාගම හුවාවි සමාගමට ලබා දී ඇති බලපත්‍රය අගෝස්තු මාසයේදී අවසන් වනු ඇති බව ද පැවැසෙයි.

ඇමෙරිකන් රජය හුවාවි සමාගම ඉලක්ක කර ගනිමින්, තහංචි පැනැවීම කළේ, හුවාවි සමාගම චීන රජය වෙනුවෙන් ඇමෙරිකාව ගැන ඔත්තු බැලූ බවට චෝදනා කරමිනි. කෙසේ නමුත් මෙය සැකයක් පමණක් බවත්, එම චෝදනා තවම ඔප්පු කර නැති බවත් පැවැසෙයි.

ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් පවතී. චීනය ඇමෙරිකාව තුළ පවා වෙළෙඳ ඒකාධිකාරීත්වයක් පවත්වා ගෙන යන බවටත්, ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා චීනය උදුරා ගන්නා බවටත් පසුගිය වසර කිහිපයේ චීනයට චෝදනා එල්ල වී තිබුණි.

2016 පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ජය ග්‍රහණය කළේ චීනය සම්බන්ධයෙන් දළදඬු ක්‍රියා මාර්ග ගන්නා බවට දුන් පොරොන්දු අනුවය. මේ වනවිට ට්‍රම්ප් එම පොරොන්දු ඉටු කරන බවක් පෙනෙයි. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇත. ඇමෙරිකාව සහ චීනය අතර ආරම්භ වූ මෙම වෙළෙඳ යුද්ධයට හුවාවි සමාගම මැදිවුණු බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ඇමෙරිකාව උත්සාහ ගන්නේ සෑම අතින්ම චීනයට පහර දීමට බව ඔවුහු පෙන්වා දෙති.

හුවාවි සමාගම ඇමෙරිකාවේ ඇපල් සමාගමට තර්ජනයක් වී ඇත. ඇපල් සමාගම පසුබෑමකට ලක් වී සිටී. මෙම තත්ත්වය මඟ හැරීමක් ලෙස වෙළෙඳ උපක්‍රමයක් වශයෙන්, ඇමෙරිකාව රාජ්‍ය බලය යොදවා හුවාවි සමාගම අඩපණ කිරීමට උත්සාහ ගන්නේදැයි සැකයක් පවතින බව ජගත් විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS