මෝදි නව ඇමැති මණ්ඩලය හමුවෙයි



දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ 57 දෙනකුගෙන් සමන්විත ඔහුගේ ඇමැති මණ්ඩල අද සවස (31) සවස හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අගමැති මෝදිගේ නව ඇමැති මණ්ඩලය ප්‍රවීන දේශපාලනඥයන්ගෙන් පමණක් නොව, දේශපාලනයට නවකයන්ගෙන් ද සැදුම්ලත් එකකි.  තම ඇමැති මණ්ඩලය පරිතණ මෙන්ම යොවුන් ඇමැති මණ්ඩලයක් බව අගමැති මෝදි පෙන්වා දී ඇත. කෙසේ නමුත් මේවනතුරු අමාත්‍ය ධුර හිමි වන්නේ කාටදැයි අනාවරණය වී නැත.

ස්වදේශ කටයුතු, මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමත්‍යාංශය ප්‍රධාන අමත්‍යාංශ හතරය. මීට පෙර මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කළේ අරුන් ජෙට්ලි ය. විදේශ කටයුතු ඇමැතිනිය වූයේ සුෂ්මා ස්වර්ජ්ය. මොවුන් දෙදෙනාම දන්වා ඇත්තේ යළි අමත්‍ය ධුර අපේක්ෂා නොකරන බවය.

68 හැවිරිදි මෝදි සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුවූයේ පෙරේදා (30) සවසය. අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ අමුත්තන් ගණන 8,000 කි. ලෝක නායකයන්, ව්‍යාපාර ප්‍රබලයන්, දේශපාලනඥයන් පමණක් නොව බොලිවුඞ් සුපිරි නළු නිළියෝ එම පිරිස අතර සිටියහ.

දිවුරුම්දීම පැවැත්වූයේ ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන්හි එළිමහනේ සකස් කළ විශේෂ වේදිකාවේය. මෝදි සිය දෙවැනි ධුරකාලය සඳහා දිවුරුම්දීමට වේදිකාවට පැමිණෙද්දී රැස්ව සිටි පිරිස ‘මෝදි, මෝදි’ යනුවෙන් ඔල්වරසන් දෙන්න විය.

මෝදිට අමතරව, වේදිකාවට ගොඩවුණු අමිත් ෂා සහ ස්මිර්ති ඉරානිට ද උණුසුම් පිළිගැනීමක් ලැබුණි. අමිත් ෂා යනු මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාය.

මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් භාරතීය ජනතා මෙහෙයවීම කළේ 54 හැවිරිදි අමිත් ෂා ය. නිළියක ලෙස ප්‍රසිද්ධියට පත්ව දේශපාලනයට ස්මිර්ති ඉරානි (මහ ගෙදර ටෙලි නාට්‍යයේ තුල්සි) අමෙති අසුන ජයග්‍රහණය කළේය.

අමෙති අසුන පසුගිය වසර 15 ක කාලය පුරාවට කොංග්‍රස් පක්ෂයේ බලකොටුව විය. අමෙති ආසනය වෙනුවෙන් තරග කළේ කොංග්‍රස් සභාපති රාහුල් ගාන්ධිය. රාහුල්ට අමෙති අසුන අහිමි වීම, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලැබූ දරුණු පරාජයක් විය.

ප්‍රධාන අමාත්‍යංශ හතරෙන් දෙකක් අමිත් ෂා සහ ස්මිර්ති ඉරානිට හිමිවනු ඇති බව පැවැසෙයි. අමිත් ෂා ට හිමිවනු ඇත්තේ මුදල් ඇමැති ධුරය යැයි ද අනුමාන කෙරේ.

දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් අගමැති මෝදි කියා සිටියේ සැවොම සමඟ එකමුතුව වැඩ කිරීමට තමන් බලාපොරොත්තු වන බවය. කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව අගමැති මෝදි පැවැසීය. මෝදි මේ බව කියා සිටියේ දිවුරුම්දීමේ විශේෂ උත්සවයට සහභාගී වූ කලාපීය නායකයන් අමතමිනි.

අගමැති මෝදි සිය දෙවැනි ධුර කාලයේ පළමු විදෙස් සංචාරය සඳහා මාලදිවයින බලා යන බවත්, එම ගමන අතරතුරේ ශ්‍රී ලංකාවට ද පැමිණෙන බවත් මෝදි සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් මේ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කර නැත.

අගමැති මෝදිගේ ඇරැයුම් පරිදි පරාජයට පත් වුණු කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි ද මෝදි සහ අමාත්‍ය මණ්ඩල දිවුරුම්දීමට පැමිණ සිටියහ. අසල්වැසි පාකිස්තානය සමඟ පවතින අර්බුදය හේතුවෙන්, අගමැති ඉම්රාන් ඛාන්ට දිවුරුම්දීමේ උත්සවයට ඇරැයුම් කර නොතිබුණි.

ඉන්දියාවේ ලෝක්සභා මැතිවරණය පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා තෙක් අදියර 7 ක් යටතේ පැවැත්විණි. ඡන්ද ගණන් කිරීමත් ප්‍රතිඵල නිකුත් කිරීමත් සිදුවූයේ 23 වැනිදාය. ලෝක්සභාවේ (පාර්ලිමේන්තුවේ) ආසන 545 න්, 354 ක් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සතුවිය. එයින් භාරතීය ජනතා පක්ෂයට පමණක් තනිවම ආසන 303 ක් දිනා ගැනීමට හැකිවීම සුවිශේෂී සිදුවීමකි.

මැතිවරණයට මුහුණ දෙද්දී, ඉන්දියාවේ ආර්ථික අර්බුදයක් පැවැතිණි. විරැකියාව ද ඉහළ ගොස් තිබුණි. ඒ සියල්ලට වඩා ජාතික ආරක්ෂාව ප්‍රධාන මාතෘකාව විය. මෝදි ප්‍රමුඛ ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ ඒ අනුවය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය පෙබරවාරියේ, ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේ ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය බෙදුම්වාදීහු ත්‍රස්තයෝ පහර දුන්හ. පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය අන්තවාදීන් කළ බෝම්බ ප්‍රහාර අසල්වැසි ඉන්දියාවට ද බලපෑමක් කළේය.
මැතිවරණ වේදිකාවේ අගමැති මෝදිගේ ප්‍රධාන මාතෘකාව වූයේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනය. පාස්කු ඉරිදා ප්‍රහාරය ඉන්දියාවට පමණක් නොව, සෙසු ආසියානු කලාපීය රටවල ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් කර ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

ජාතික ආරක්ෂාව මෙන්ම පවතින ආර්ථික අර්බුදයෙන් ඉන්දියාව ගලවා ගැනීමටත් විරැකියාවට පිළියම් දීමටත් අගමැති මෝදිගේ නව රජයට එල්ල වන අභියෝග බව පැවැසෙයි. මේ අතර, මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තනිවම අති බහුතර බලයක් හිමිවීම හේතුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රාන්ත දේශපාලන පක්ෂවල බලපෑම්වලට යටත් වීමට සිදු නොවනු ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS