නවදිල්ලියට ඉන්ටර්නෙට් නෑ



ගොවීන්ගේ විරෝධතා උත්සන්න වීමත් සමඟ නවදිල්ලි නුවර අවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

නව කෘෂිකාර්මික නීතිරීතිවලට විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් මෙලෙස විරෝධතා ආරම්භ කර තිබෙන අතර විරෝධතා අතරවාරයේදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් එක් ගොවියෙක් මරණයට පත්විය. තවත් සිය ගණනක් තුවාල ලැබූහ.

නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව ඉන්දීය ගොවීහු පසුගිය සති අන්තයේ උපවාසයක් ද ආරම්භ කළහ. නව කෘෂිකාර්මික නීතිවලින් මහ පරිමාණ ආහාර මිලදී ගන්නන්ට වාසි සැලසෙන බවත් නිෂ්පාදකයන් පීඩාවට පත්වන බවත් ගොවීහු චෝදනා කරති.

මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක සිට නවදිල්ලි නුවර ආසන්නයේ මෙම විරෝධතා පැවැත්වෙන අතර ඊට ගොවීහු දස දහස් ගණනක් සහභාගී වී සිටිති.

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා නවදිල්ලි නුවර ආසන්නයේ ස්ථාන තුනක මෙලෙස අන්තර්ජාල සේවා අත්හිටවූ බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

යම් නොසන්සුන්තාවක් ඇති වූ විට හෝ එවැනි අවදානමක් ඇති වූ විටෙක ඉන්දීය බලධාරීහු අන්තර්ජාල සේවා අවහිර කරති. විශේෂයෙන්ම නවදිල්ලි අගනුවර එවැනි තත්ත්වයක් උද්ගත වූ ඉන්දීය බලධාරීහු එවැනි පියවර ගනිති.

ඉන්දීය ජනගහනය බිලියන 1.3ක් වන අතර ඉන් අඩක්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටිති. ඉන්දියාවේ ඉඩම් හිමි ගොවීන්ගේ සංඛ්‍යා මිලියන 150ක් යැයි ඇස්තමේන්තු කර තිබේ. නරේන්ද්‍ර මෝදි 2014 වසරේ දී ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිට මෙම පිරිස් අතර නොසන්සුන්තා පවතී.

ඉන්දීය බලධාරීන් සහ ගොවි සංගම් අතර මේ වනවිට සාකච්ඡා වට 11ක් පවත්වා ඇති නමුත් කිසිදු විසඳුමකට පැමිණීමට ඔවුන්ට නොහැකි වී ඇත.

මාස 18ක් යනතුරු මෙම නව නීති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඉන්දීය ප්‍රකාශ කර ඇති නමුත් මෙම නව නීති ඉවත් කරගන්නා තෙක් විරෝධතා ක්‍රියාත්මක කරන බව ඉන්දීය ගොවීහු අවධාරණය කරති.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS