තත්ත්වය නරක අතට



නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නරකම දිනය ලෙස ඊයේ (30) දිනය සටහන් විය.

ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 700 ඉක්මවා වාර්තා වූ අතර වයිරස ආසාදිත මරණ 13ක් වාර්තා විය.

මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 518ක් ලෙස දැක්විණි.

කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වී තිබෙන වයිරසයේ දෙවැනි රැල්ලත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල වයිරසය පැතිරෙමින් තිබීමත් නිසා දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවෙමින් තිබේ. මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන්ට ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවරට අගුළු දැමීමටත් අනෙකුත් ප්‍රාන්ත සමඟ තිබෙන සීිමා වසා දැමීමටත් සිදුවිය.

“මම මේ සංඛ්‍යා ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. පෞද්ගලික අංශයට අයත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින් වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හඳුනාගැනීමට ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ” යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කීය.

අසනීප තත්ත්වයේ පසුවන බොහෝ පිරිසක් රැකියාවලට යන බවත් පරීක්ෂණවලට යොමු වන පිරිස් ද ඒ්වායේ ප්‍රතිඵල ලැබීමට පෙර රැකියා හෝ ඔවුන්ගේ රාජකාරීවලට හෝ යොමුවන බවත් හෙතෙම කීය.  

වයිරස ආසාදිතයන් වැඩිවීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළ නීති හා සීමා දීර්ඝ කිරීමට ද වික්ටෝරියානු ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ දකණු දෙස ජීවත්වන පිරිසට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීම ද අද සිට තහනම් වේ.

එමෙන්ම ප්‍රාන්ත‌යේ සියලු දෙනාම නිවසින් බැහැරට යෑමේදී අනිවාර්යයෙන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර ඉරිදා සිට එම නීතිය ක්‍රියාත්මක වේ.

(රොයිටර්)


RECOMMEND POSTS