ආටිමිස්ට හමුවන ආටිමිස්



2024 දී  ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට යෑමට සූදානම් වෙයි. පළමු වතාවට ගගනගාමියකු මෙන්ම ගගනගාමිණියක ද සඳට යැවීම ඒ අනුව සිදුවෙයි. කාන්තාවක සඳට පය තබන ඓතිහාසික ​චන්ද්‍ර මෙහෙයුමක් ලෙස මෙම මෛහයුම ඉතිහාස ගතවනු ඇත. නාසා ආයතනය මෙම චන්ද්‍ර මෙහෙයුම නම් කර ඇත්තේ ආටිමිස් යනුවෙනි.

මීට වසර 50 කට පෙර නාසා ආයතනය පළමුවෙන් ගගනගාමීන් සඳට යැවීම කළේ ඇපලෝ මෙහෙයුම යටතේය. ග්‍රීක දේව පුරාණයට අනුව, ඇපලෝ යනු සූර්යයාට අධිපති දෙවියාය. ආටිමිස් යනු ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරියයි. ඇය දඩයමට අධිපති දෙවඟන වෙයි.

චන්ද්‍රයා සම්බන්ධ කර ගනිමින් ආටිමිස් යනුවෙන් නාසා මෙහෙයුමක් නම් කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. අද වනවිට සඳුගේ කක්ෂයට වී, සඳ ගවේෂණයේ යෙදෙන රොබෝ ගවේෂණ යානා දෙකක් ද ආටිමිස් ලෙස නම් කරනු ලැබ ඇත. ඒ, සඳ සහ හිරු අතරේ ඇති සම්බන්ධය කෙබඳුදැයි සොයා බැලීමේ අරමුණින්ය. සඳ සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන්ට මෙම රොබෝ යානා ඉතා වටිනා තොරතුරු ලබා දීම සිදු කරන්නේ 2011 සිටය. එපමණක් නොව, 2024 ආටිමිස් මෙහෙයුම යටතේ යළි සඳට යෑම සිදුවනු ඇත්තේ ද මෙම රොබෝ යානාවලින් ලබා ගන්නා දත්ත අනුවය.

2024 මෙහෙයුම ආටිමිස් යනුවෙන් නම් කර ඇති බැවින්, සඳුගේ කක්ෂයට යැවුණු ආටිමිස් රොබෝ යානා ‘තේමිස් ආටිමිස්’ යනුවෙන් නම වෙනස් කිරීමට නාසා බලධාරීන්ය සිදුවී ඇති බව ද වාර්තා වේ.

නාසා ඇසුරිනි


RECOMMEND POSTS