අගමැති පුටුවට අපේකෂකයෝ 10 දෙනෙක්



කොන්සවටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම බි‍්‍රතාන්‍ය අගමැති ධුරයෙන් ද තෙරේසා මේ ඉවත් වීමත් සමඟ පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටින අවසන් අපේක්ෂකයන් 10 දෙනාගේ ලැයිස්තුව මේ වනවිට ප‍්‍රසිද්ධියට පත් වී ඇත.

බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මුල් කොට ගනිමින්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ බැවින්, පාලක කොන්සවටිව් පක්ෂයෙන් සහ විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ, තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වූවාය. ඒ සමඟ ඇයට අගමැති ධුරය ද අහිමි විය.

පුරප්පාඩු වුණු පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය සඳහා ඉදිරිපත් වූ අවසන් අපේක්ෂකයන් 10 දෙනා අතර, කොන්සවටිව් පක්ෂයේ වත්මන් ප‍්‍රබල ලේකම්වරු (ඇමැතිවරුන්) කිහිප දෙනෙක් ද සිටිති.

පරිසර ලේකම් මයිකල් ගෝව්, සෞඛ්‍ය කටයුතු පිළිබඳ ලේකම් හැට් හැන්කොක්, පක්ෂ සංවිධායක මාක් හාපර්, විදේශ ලේකම් ජෙරමි හන්ට්, ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජීද් ජාවද්, විදේශ හිටපු ලේකම් බොරිස් ජොන්සන්, ආණ්ඩු පක්ෂ ප‍්‍රධානී ඇන්ඩි‍්‍රයා ලීඞ්සොම්, විශ‍්‍රාම වැටුප් පිළිබඳ හිටපු ලේකම් එස්තර් මැක්වේ, බ්‍රෙක්සිට් හිටපු ලේකම් ඩොමිනික් රාබ්, අන්තර් ජාතික සංවර්ධන කටයුතු පිළිබඳ ලේකම් රෝරි ස්ටුවට් ඒ අතර වෙති.

පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුකෙරෙන සංකීර්ණ කි‍්‍රයාවලියක් හරහාය. ඊට ඡුන්ද විමසීම් තුනක් ඇතුළත් වෙයි. පක්ෂ නායකත්වය සහ අගමැති ධුරය හිමිවන්නේ කාටදැයි තීරණය කිරීම සිදුවන්නේ තුන්වැනි ඡන්ද විමසුමෙන් පසුවය.

පක්ෂයේ නායකත්වයට මේ අයුරින්, පක්ෂ සාමාජිකයන් අතරේ තරගයක් නිර්මාණය වීම, කිසිසේත් පක්ෂයේ අනාගතයට සුබදායී නොවනු ඇති බව බි‍්‍රතාන්‍ය දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS