පොතේ කතාව පුදුම හතටත් එහා යයි



‘පොත්, ඉතාම තැන්පත්, කිසිසේත් වෙනස් නොවන මිත්‍රයෝ වෙති. පොත්, ඉතාම පහසුවෙන් ලද හැකි ඉතාම බුද්ධිමත් උපදේශකයෝයි. එසේම, පොත්, ඉතාම ඉවසිලිමත් ගුරුවරු වන්නෝය.”
චාල්ස් ඩබ්ලිව්. එලියට් (1834-1926)  ඇමෙරිකානු පණ්ඩිතයා

 


 

සිත් පුරා දැනුමත්, හදපුරා සතුට ආස්වාදයත් සපයන පොත, අද ලොව ඉතා සුලභ වස්තුවකි. කුඩාම දරුවෝ නිල වශයෙන් පාසැල් යන්නට පෙර පටන්ම, පොත් අතට ගනිති. තරුණ, වැඩිහිටි, මහලු හැමෝටම ‘පොත’ ඉතාම හුරුපුරුදුය. පොතක් නැති ගෙයක්, අද මිහිපිට නැති තරම්ය.

 


පාසල් දරුවෝ, පාසැලේ හෝ විදුහලේ සිට, පොත් කියවති. විද්‍යාර්ථීහු විශ්වවිද්‍යාලවල, පුස්තකාලවල සිට පොත් හදාරති. පූජ්‍ය පක්ෂයේ උදවියට පොත පූජනීය වස්තුවකි. විවේක අවස්ථාවලදී, සුපුරුදු පුටුවක හිඳගෙන හෝ සැප පහසු යහනක වැතිර හෝ, තමන් කැමැති පොතක්  කියවීම, අද බොහෝ දෙනාගේ පුරුද්දයි. 


පොත ගැන වැඩි තැකීමක් නැතිව, එය නොයෙක් ආකාරයෙන් භාවිත කරන උදවිය, බොහෝවිට, “පොතේ” විස්මය නොදනිති. පොත් ප්‍රදර්ශනය - සල්පිල් - සංවාද සංකථන - සම්මේලන පවත්වමින්, පොත් සාකච්ඡා ඉතා බහුල ලෙස සංවිධනය කෙරෙන මේ සමයයේදී ‘පොත’ පිළිබඳ ආශ්චර්යමත් කථාව වෙසෙසින්ම සිහියට නගා ගත යුතුවේ.


පොතක් අතට ගෙන කියවීම, අද ලොව මිනිසාට, හුස්ම ගැනීමෙ තරම් සාමාන්‍ය සිද්ධියකි. එහෙත් මේ පොත නමැති නිර්මාණය, මහා සංස්කෘතික ප්‍රාතිහාර්යයෙකි. 


පොතේ ඉතිහාසය, ඉතා ඈත අතීතයට විහිදෙන්නේය. මහා වානරයා සෘජුව දෙපයින් ඇවිදින ප්‍රාග් මානවයා බවට විකාශනය වූයේය. දෑතේ මාංශ පේශි මෙහෙයවා සරල මෙවලම් ගල්වලින් හෝ දැවයෙන් තනවන්නට පුරුදු වූ ‘නිර්මාණී මානවයා” (හෝමෝ හබිලිස්) භාෂාව නිෂ්පාදනය කළේය. ඔහුගෙන් පසුව බුද්ධිමත් මානවයා (හෝමෝ සේපියන්ස්) පහළ වූයේය. ඔහු මහ පොළොවේ සැරි සරන්නට වූයේ මෙයට අවුරුදු දෙලක්ෂයකට පමණ පෙරදීය. වර්තමාන ලෝකයේ මානවයා පැවත එන්නේ, ඒ බුද්ධිමත් මානවයාගෙනි.


බුද්ධිමත් මානවයා ශීඝ්‍ර වේගයෙන් දියුණු වූයේය. ඔහු නගර තනන්නටත්, වෙළහෙළඳාම් කටයුතුවල යෙදෙන්නටත් සංචාරයන්හි නිරතවන්නටත් පටන් ගත්තේය. 


ඒ ඉපැරණි සංස්කෘතිය අතර ප්‍රධාන තැනක් ගත්තේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයයි. මේ බැබිලෝනියානු ප්‍රදේශය “මෙසපොටේමියා” නමින් ද හැඳින්වේ. (අර්ථය - ගංගා අතර රාජධානිය) බැබිලෝනියානු සංස්කෘතිය වැඩුනේ යුප්‍රටීස් ටෛග්‍රීස් යන යුගල ගංගා ආශ්‍රියෙනි.

 

 


බැබිලෝනියානු සංස්කෘතිය මෙසේ වැඩෙද්දී ඒ ප්‍රගමනයට අදාළ විවිධ ව්‍යාපාර ආරම්භ වූයේය. එවැනි ව්‍යාපාර ආදිය වාර්තා සකස්කොට තැබීම අත්‍යවශ්‍ය පරිපාලන ක්‍රියාදාමයක් වූයේය.


ඒ නිසා, ඒ ආදි බැබිලෝනියානුවෝ වාර්තා තැනූහ. ඒ වාර්තා, මානව ඉතිහාසයේ ආදිතම පොත් වශයෙන් සැලකේ. 
ඔවුන්, සිය සංස්කෘතියට අවශ්‍ය පොත් සකස් කළේ, ඔවුන්ගේ දේශයෙන් ඉතාම බහුලවශයෙන්  ලැබෙන “ලිපි ද්‍රව්‍ය” භාවිත කරමිනි. ඒ රාජ්‍යය සතුවූ ඉතාම බහුල “ලිපි ද්‍රව්‍යය” වූයේ තෙත මැටියි. මක්නිසාදයත්, යුගල ගංගා පිටාර ගලා යනවිට, හැමවිටම පාහේ මහා මැටි තට්ටු සකස් වන හෙයිනි.


පැරණි බැබිලෝනියානුවෝ, ඒ සුලබ “ලිපිද්‍රව්‍ය” වන තෙත මැටි තට්ටු මත කුඩා කූඤ්ඤයකින් විවිධ රූප ලේඛනය කළහ. අකුරු ලියූහ.


පසුව, ඒ තෙත මැටි තට්ටු අව්වෙහි වේලාගත් විට,  නැතහොත් පෝරණුවල පුළුස්සා ගත්විට, ඒවා ‘මැටි පොත්’ බවට පරිවර්තනය විය. මේ මැටි පුවරු පොත්, ඉතා පුරාණ බැබිලෝනියානු පුස්තකාලවලද තැන්පත් වී තිබුණේය. ලෝකයේ වාර්තාගත පැරණිතම පුස්තකාලය පිහිටියේ බැබිලෝනියාවේ ‘නිනවේ’ නගරයේයි. එහි පුස්තකාල සංකීර්ණයේ ‘මැටිපුවරු පොත්’ දහස් ගණනක් තැන්පත්ව තිබිණි. ඒ කාලයේ ‘පොත් කාමීන්’ කියවන්නට ඇත්තේ, ඒ බරැති ‘මැටි පුවරු පොත්’ විය හැකිය. ඒ පොත් වර්ගයේ අක්ෂර ක්‍රමය, ‘කියුනිෆෝම්” නම් වේ.

 


තේරුම - කූඤ්ඤාක්‍ෂර 
බැබිලෝනියා ශිෂ්ටාචාරය වැඩෙද්දී, එයට සමගාමීව, මිසර සංස්කෘතිය උද්ගත විය. ඒ ප්‍රතාපවත් දේශය ආරක්ෂා කළ පාලකයෝ “ෆෝරෝ” යැයි හඳුන්වනු ලැබූහ.


ෆෝරෝ යන්නේ තේරුම - මහවාසල 
මේ රජවරු, සිය නියෝග, අණ - පණත් ලියවන්නට සේවය ලබාගත්තේ ලේඛකයන්ගෙනි. පූජකයන් වූ මේ ලේඛකයෝ, රජුගේ බස, ලියා තැබූහ. මිසර සංස්කෘතියේ ප්‍රධාන ලිපිද්‍රව්‍යය වූයේ ‘පැපිරස්’ යනුවෙන් හඳුන්වනු ලැබූ පන් විශේෂයකි. මේවායින් සකස්කොට ගත් කොළවල, ඒ පූජක ලේඛකයෝ තෙල්ලෙන් ලියූහ. ඒ යුගයේ රාජාඥාවන් බොහෝවිට පටන් ගනු ලැබුවේ මෙසේය. 


මහ වාසල විසින් මෙසේ වදාරන ලදී. එය එසේම ලියා තිබන ලදී. එය ඒ ආකාරයෙන්ම ඉටුකළ යුතුවේ. පැපිරස් නයිල් නදිය අසල බහුලව වැඩුණු පන් වර්ගයකි. 


තීන්ත භාවිතයෙන් තෙල්ලෙන් ඒ  පැපිරස් පතුරු මත ලියන ලද අක්ෂර ක්‍රමය, නම් කරන ලද්දේ, “හයරොගලිෆික්ස්’ වශයෙනි. 


තේරුම  - පූජකාක්‍ෂර
ඉපැරණි ග්‍රීක ශිෂ්ටාචාරයේ ප්‍රධාන ලිපි ද්‍රව්‍ය වූයේ සතුන්ගේ සම් වර්ගයි. ආදි ග්‍රීකයෝ, ප්‍රධාන වශයෙන් සත්ව පාලකයෝ වූහ. ගව, එළු, බැටළු ආදී සත්ව වර්ග පාලනය කළ ඔවුන්ට සත්ව සම් වර්ග බහුලව ලද හැකි විය.


ක්‍රමවත්ව සකස් කළ, තරමක් දිග සම්පටවල ඒ ග්‍රීකයන් අකුරු ලිව්වේ, සීසාන ගවයන් කුඹුරේ ගමන් කරන ආකාරයෙනි. ඒ ගවයෝ, සී සාමින් කුඹුරේ වමේ සිට දකුණට යති. එක් පේළියක් සෑමෙන් පසුව ඒ ගවයෝ, ඒ මුල් පේළිය අවසාන කළ තැන සිට දෙවන පේළියේ සාමින් ගමන් කරති. මෙසේ සීසෑම අනුව ලියූ ලිපිවල මුල් පේළිය වමේ සිට දකුණට යයි. දෙවන පේළිය යන්නේ දකුණේ සිට වමටය. 


මේ ලේඛන කලාව නම් කරන ලද්දේ ‘බූස්ට්‍රෆීඩන්’ නමිනි. 


මෙහි තේරුම - ගවයා සීසාන න්‍යායය.


ගවයා සීසාන න්‍යායයේ පේළි
දිග සම් පටක මේ ආකාරයේ පේළි වශයෙන් යමක් ලියූවිට, ඒ සම්පටේ දෙකොනේ ‘මිට’ වල් දෙකක් තිබේ. එක් අතකින් අකුළාගෙන යනවිට අනික් අතින් දිගහැරිය හැකිවේ.


ග්‍රීකයන් ඒ ආකාරයෙන් සම්පටවල පොත් සකස් කරද්දී පැරණි දඹදිව බොහෝ සේ භාවිත වූයේ පුස්කොළයි. ඉන්දියාව, ප්‍රධාන වශයෙන් භාවිත කළේ බ්‍රාහ්මී අක්ෂරයි.

 

සරණාගතයන්ට සුබ ආරංචියක්

 


පැරණි ශ්‍රී ලංකාවේද, ආදි යුගයන්හිදී භාවිත කරන ලද්දේ පුස්කොළයි. රන්  - රිදී තඹ ආදී ලෝහ වර්ගත් ලිපි ද්‍රව්‍ය වශයෙන් භාවිත විය.


ග්‍රන්ථ සම්පාදනයේත්, ලේඛන කලාවේත් ප්‍රබලතම සංස්කෘතික විප්ලවය කරන ලද්දේ චීන ජාතිකයන් විසිනි.


ජගත් ජන කණ්ඩායමේ හැමෝටම එකසේ සාධාරණ පොදු ලිපි ද්‍රව්‍ය වශයෙන් අද ලොව පුරා මුල් බැසගත් “කඩදාසි” චීන ජාතිකයන්ගේ නිෂ්පාදනයකි.


අවුරුදු පන්දහස් තුන්සියයක් පමණ කලක් මුලුල්ලේ, ලෝක ජනතාව දැනසිටියේ පහසුවෙන් ඒමේ අත ගෙන යා නොහෙන සුවසේ භාවිත කළ නොහැකි පොත් වර්ගයි. බැබිලෝනියාවේ මැටි පුවරු පොත්, මිසරයේ පැපිරස් මිටි පොත්, ග්‍රීසියේ දිග සම්පොටවල ලියූ අකුලන - දිග අරින පොත්, දඹදිව හා ශ්‍රී ලංකාවේ පුස්කොළ පොතේ වර්ග ආදිය කියවීමට රුචිය ඇති අයට සුවඳායී ලෙස පරිශීලනය කළ නොහේ.


එවැනි පොත් වර්ග, මානව සමාජයෙන් බැහර කොට අද ලොව පුරා ව්‍යවහාරවන සරල ලෙස නිර්මිත වූ පොත මානව සංහතියට දායාද කරන ලද්දේ, ප්‍රධාන වශයෙන්ම චීනය විසිනි.


චින ජාතිකයෝ, ඵලක මුද්‍රණ ක්‍රමය ලොවට දුන්හ. අමුණන මුද්‍රණ අකුරු චීනය විසින් මානව සංහතියට දායාද කෙරිණි. මුද්‍රණ ශිල්පය නිසා ඉතා විශාල  පිටපත් සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැකි විය.


මේ තාක්ෂණික ක්‍රම සියල්ල එකට එකතු වී අද මානව සමාජය විසින් භාවිත කෙරෙන, පාසුවෙන් පිටු හරවමින් කියවා ගත හැකි නවීන පොත පහළ වූයේය. මේ දියුණු පොත්වර්ග නම් කෙරෙන්නේ කෝඩෙක්ස් පොත් වර්ගය වශයෙනි. කෝඩෙක්ස් වශයෙන් නම් කෙරෙන්නේ අසව්වකි. එය සරනේරුව සොයිබය වශයෙන්ද හැඳින්වේ. නවීන මුද්‍රිත පොත එවැනිය.


බැබිලෝනියාවේ මැටිපුවරු පොතක්, අද අප භාවිත කරන නවීන පොතක් හා සමඟ සැසඳූවිට අද යුගයේ පොත මේ ආකාරයට  විකාශනය වීම, මහා පුදුමයක් විශ්වයක් සේ දැනෙන්නේය. 


මුද්‍රණ තාක්ෂණය ඉතා විශිෂ්ටාකාරයෙන් දියුණුවීම නිසා, අද අපට ඉතා පහසු ලෙස සිත්ගන්නා පරිදි නිර්මිත පොත් ඉතා පහසු මිලකට ලබාගත හැකිවේ. ඕනෑම ග්‍රන්ථයක් පිටපත් දස දහස් ගණනින් මුද්‍රණය කරන්නට වුවද  අද ගතවන්නේ ඉතා සුළු කාලයකි.
පොත, තාක්ෂණික වශයෙන් හා චමත්කාර මට්ටමෙනුත් ඉතා උසස් තලයක් දක්වා දියුණුවී තිබීම නිසා නවීනයන්ට, අද මුළු ලෝකයම තමන්ගේ ඥාන මණ්ඩලය තුළට පාසුවෙන් ඇතුළුකොට ගත හැකිවේ.


නවීන පොතේ මුද්‍රණ තාක්ෂණය ඉතා උපරිම ආකාරයෙන් දියුණුවී තිබේ. එපමණක් නොවේ ඒ විස්මය උපදවන ප්‍රගතිය හා සමඟ, ලොව පුරා පොත් අලෙවිය පිළිබඳ ක්‍රියදාමයද ශීඝ්‍ර ලෙස විකාශනය වන්නේය. මෙසේ නවීන ලෝකය, ‘පොත’ රජයන යුගයකට එළඹ සිටී.


පොත් පිළිබඳව අප විශේෂ අවධානයක් දක්වන මේ සමයේදී ‘පොත’ නමැති මේ දෛනික ප්‍රතිහාර්යයෙන් උපරිම සෙත සලසා ගන්නට අපේ දේශයේ ජනතාව උත්සුක කළ යුතුවේ.  වෙසෙසින්ම, අප යොමුවිය යුත්තේ ළමා හා යොවුන් පරපුරේ පාඨක රුචිය දෙසටයි. ඒ වැඩෙන පරපුර පොතේ අගය නියම ආකාරයෙන් අවබෝධ කොට ගත්විට පොත - පත කියවන පිරිස මෙන්ම ග්‍රන්ථකරණයේ යෙදෙන පිරිසද, ප්‍රශස්ත කෘති සම්පාදනය දෙසට යොමු කළ හැකිවේ. 


මුද්‍රිත කෘති, මානව සමාජයෙන් ගිලිහී ගොස් විද්‍යුත් ‘පොත්’ පමණක් ව්‍යවහාරයට පත්වන සමයක් උද්ගත වේදැයි ඇතැමුන් තුළ බියක් පවතී. අනිත් පොතක් පුවත්පතක් ගෙන එහි රසය ආස්වාදය කිරීමේ රුචිය මිනිසාට අත්හළ නොහේ.


හැමවිටම, ‘බුද්ධිමත් දුරකතනයක්’ අතේ දරාගෙන, කසිණ භාවනාවක යෙදෙන්නා ඒ යන්ත්‍රයටම සිත යොමුකොට ගෙන සිටින නවීන දරු පෙළ නම් කෙරෙන්නේ  ‘සහසුකයන්’ වශයෙනි. නව යුගයේ - අලුත් ශතවර්ෂයේ දරුවන් වශයෙනි. මේ නව පරපුර මුද්‍රිත ග්‍රන්ථයට හා මුද්‍රිත පුවත්පතකට හුරු පුරුදු කිරීම, අත්‍යවශ්‍ය සාමාජික හා සංස්කෘතික යුතු කමකි.


පොතේ ආශ්චර්යමත් විකාශනය හරිහැටි අවබෝධ කොට ගත් විට දරුවන්ට ගෞරව පූර්වක ලෙස පොතක් පරිශීලනය කරන්නට සිතෙනු නියතයි.

 


අද ලොව ප්‍රබලතම පුස්තකාලයාධිපති
ග්‍රන්ථ ප්‍රදර්ශන, පොත් කතා - බහ සුලභ මේ කාලයේ ලෝකයේ ප්‍රබලතම පුස්තකාලයේ අධිපති පදවියට අලුතින්ම පත්වූ පුද්ගලයා පිළිබඳ පුවත් සැළවෙයි.


ලෝකයේ මහාම පුස්තකාලය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, උභය මත්ත්‍රණ සභාව හා බද්ධ දැවැන්ත පුස්තකාලයයි. එහි අන්තර්ගත තැන්පතු සංඛ්‍යාව දහසය කෝටි විසි ලක්ෂයකි.


ලෝකයේ මේ විශාලතම දැනුම් භාණ්ඩගාරයේ භාරකාරවරිය  වශයෙන්  මෙයට දින කීපයකට පර පත්කරනු ලැබුවේ කාර්ලා හේඞ්න් කාන්තාවයි. 1952 අගෝස්තු දහවනදා උපත ලද එතුමියගේ වයස අවුරුදු හැටහතරකි. 2016 සැප්තැම්බර් 14 වනදා ඒ මහත්මිය ඇමරිකානු උභය මන්ත්‍රණ සභා බද්ධ යෝධ පුස්තකාලයේ අධිපති පදිවිය ලැබූවේ ඒ පුස්තකාලයේ 14 වන පුස්තකාලයාධිපති හැටියටයි.


මේ 14 වන පුස්තකාලයාධිපති පුද්ගලයා, ඒ මහා පුස්තකාලයේ අධිපති පදවිය ලද ප්‍රථම කාන්තාවයි. එමෙන්ම කාර්ලා හේඞ්න් මහත්මිය, ඇමරිකා උභය මන්ත්‍රණ සභා බද්ධ පුස්තකාලයේ අධිපති තනතුරට පත්වූ ප්‍රථම අෆ්‍රිකා - ඇමරිකානු පුද්ගලයාත් වන්නීය (සාමාන්‍යයෙන් කිවහොත් ප්‍රථම කළු ඇමරිකානු පුද්ගලයායි)


ලොව පුස්තකාලයාධිපති පදවිය දරන්නේ බහුල වශයෙන් කාන්තාවෝ යි. එසේ කාන්තාවන් වැඩිපුර සිටින වෘත්තියකට අයත්ව ලොව ප්‍රබලතම පුස්තකාලයේ අධිපති පදවිය ලද ප්‍රථම කාන්තාව එතුමිය වීමත් වාර්තාගත සිද්ධියකි.


පුස්තකාල පිළිබඳ කාර්ලා හේඞ්න් පුස්තකාලයාධිපති ස්වර්ණමය අදහසක් පළකරන්නීය.


පුස්තකාලය යැයි කියන්නේ අභය භූමියකි. එය අලුතින් යම් යම් දේ අනාවරණය කොට ගැනීම සඳහා යා හැකි ස්ථානයකි. පුස්තකාලය අසහාය වටිනාකම් ඒ ප්‍රකාශයෙන් අති ප්‍රශස්ත ලෙස කියවේ. 

 


සරණාගතයන්ට, සංක්‍රමණිකයන්ට මහා පිහිටක්
තමන් සිටි තැන්වලින් ඉවත්ව යන්නට බල කරනු ලැබ, ලොව පුරා ඉවක් - බවක් නැතිව සැරිසරන, අසරණ සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට පිහිට සපයන සැලැස්මක් තනනු පිණිස, නොබෝදා ඉතා ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්වූයේය. සැප්තැම්බර් 19 වන දින සහ 20 වන දින මේ රැස්වීම පවත්වන ලද්දේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා මහතාගේත් සම අනුග්‍රහයෙනි.


සිය ජීවිත අනතුරට ලක් කරමින් පිළිසරණක් පතා ලොව පුරා ඉබාගාතේ සැරිසරන ඒ සංක්‍රමණිකයන්ගේ සහ සරණාගතයන්ගේ ගණන, හයකෝටි  පනස්තුන් ලක්ණයකි. 


මෙය මේ අනාථව අසරණව වෙසෙන්නෙන් උදෙසා එක්සත් ජාතිනීගේ සංවිධානය විසින් පැවැත්වෙන ප්‍රථම ඉහළ මට්ටමේ සමුළුවයි.


මේ සමුළුව පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සම්මේලනය පැවැත්වෙන කාලයේදීමය.

 


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍ය 
මේ සරණාගත සම්මේලනයේදී සම්මත වන යෝජනා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍ය විසින් පිළිගනු ඇතැයි සැලකෙයි. මේ සරණාගත සම්මේලනයේ යෝජනාවලිය නම් කෙරෙන්නේ ‘නිව්යෝර්ක් ප්‍රකාශනය’ වශයෙනි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, මහා සම්මේලනයේ 71 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් නිව්යෝර්ක් නගරයට සම්ප්‍රාප්ත වී සිටී.


සරණාගතයන්ගේ සහ සක්‍රමණිකයන්නේ අති ඛේදදායි ඉරණම වෙනස්කරන තීරණ රැසක් මේ සම්මේලනයෙන් පසුව ජනාධිපති බැරක් ඔබාමා මහතා විසින් ලෝක නායකයන්ට ඉදිරිපත් කෙරිණ.


මෙහි ඉතාම ශුභදායි ප්‍රවෘත්තිය නම් ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා විසින් දෙන ලද ප්‍රතිඥාවය. ලබන වර්ෂයේ (2017 දී) ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය විසින් සරණාගතයන් 110,000 දෙනෙක් භාරගන්නා බවට ඒ ජනාධිපතිවරයා පොරොන්දු වූයේය.


ඒ ප්‍රකාශය සෙසු රාජ්‍ය නායකයන් විසින් ආදර්ශයට ගනු ඇතැයි සිතිය හැකිය. 


අද ලොව මුළුල්ලේ විහිද සිටින සරණාගතයන් දෙකෝටි දහතුන් ලක්ෂයකට මේ මහා සම්මේලනය මරුකතරක සිසිල් වැස්සක් වෙයි.

 


මානව කරුණාවේ තරම
චිකාගෝ නගරයේ ඉතා මහලු, වෙළෙන්දෙක් සිටියි. අසූනව හැවිරිදි ඔහුගේ නම ෆිඩෙන් ෂියෝ එන්වේස්. ඔහුගේ ජීවිකාව වන්නේ අයිස්ක්‍රීම් කරත්තයක් තල්ලු කොටගෙන යමින් අයිස් ක්‍රීම් අලෙවි කිරීමයි. මේ කරත්තය තල්ලු කරගෙන යන්නට ඔහු විසින් දරනු ලබන වෙහෙස, දක්වන ඡායාරූපයක් පළවුණේය. ඒ මහලු තැනැත්තාගේ දුක දැක කම්පාවට පත්වූ අය, දින හතරකදී ඔහුට මුදලක් එකතුකොට දුන්හ. ඒ පරිත්‍යාගයේ වටිනා කම, ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ විසිපන්දහසකි. ශ්‍රී ලංකා රුපියල්වලින් හාරකෝටි හැත්තෑතුන් ලක්ෂ දහදාස් නවසිය අනූනවයකි.


අසරණයන්ගේ දුක දැක කම්පාවට පත්වන තැවෙන, එවැන්නන්ට උපකාර කරන්නට ඉදිරිපත් වන කරුණාවන්තයන් තාමත් සිටින බව මින් මුළු ලොවටම ප්‍රකාශ වූයේය.

 
 

RECOMMEND POSTS